මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය චීනයේ අනාගත ආර්ථික අභිලාෂයන් සහ ආයෝජනයන් කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරමින් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. චීනය සතුව ඉදිරි මාස කිහිපය සඳහා ප්‍රමාණවත් තෙල් සංචිත පැවතියද, යුද්ධය දිග්ගැස්සීම ඔවුන්ගේ දිගුකාලීන සැලසුම්වලට තර්ජනයක් වී තිබේ.
චීනය මේ වන විටත් දේපළ වෙළඳාම් අර්බුදය සහ දේශීය ණය බර වැනි ආර්ථික ගැටලු රැසකට මුහුණ දෙමින් සිටින අතර, 1991 වසරෙන් පසු සිය අවම ආර්ථික වර්ධන වේගය ද ප්‍රකාශයට පත් කර තිබේ. ඇමෙරිකාව සමඟ පවතින වෙළඳ යුද්ධය මධ්‍යයේ මැදපෙරදිග කලාපයේ අස්ථාවරත්වය චීනයේ ප්‍රධාන නාවික මාර්ග සහ බලශක්ති සැපයුම් ජාලයන්ට සෘජු බලපෑම් එල්ල කරයි.
විශේෂයෙන්ම හොර්මුස් සමුද්‍ර සන්ධිය දිගුකාලීනව අවහිර වුවහොත්, චීනයේ අපනයන වෙළඳපොළට මෙන්ම අප්‍රිකාව වැනි කලාපවල චීන ආයෝජනවලට ද දැඩි හානි සිදුවිය හැකි බව රාජකීය එක්සත් සේවා ආයතනයේ (RUSI) පිලිප් ෂෙට්ලර්-ජෝන්ස් පෙන්වා දෙයි. අනෙකුත් රටවල් මෙන්ම චීනය ද මෙම යුද්ධය හමුවේ ඇමෙරිකාව සතු “අවසන් සැලසුම” (Game Plan) කුමක්දැයි විමසිල්ලෙන් පසුවන අතර, මෙම අර්බුදයට මැදි නොවී සිය අවශ්‍යතා ආරක්ෂා කරගැනීම චීනයේ වත්මන් අභියෝගය වී තිබේ.














