ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල තීරණාත්මක සාධකයක් වන ෆෙන්ටැනයිල් මත්ද්‍රව්‍ය වෙළඳාම මර්දනය කිරීම සඳහා චීනයේ හුබෙයි පළාත දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ. පසුගිය මාස කිහිපය තුළ සිදුකළ මෙම මෙහෙයුමේදී පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මත්ද්‍රව්‍ය අලෙවිය සඳහා භාවිතා කළ වෙබ් අඩවි 200කට අධික ප්‍රමාණයක් වසා දමා ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය අද (මාර්තු 20) වාර්තා කළේය. ඇමෙරිකාව තුළ සිදුවන මත්ද්‍රව්‍ය මරණවලට ප්‍රධාන හේතුවක් වන ෆෙන්ටැනයිල් නිපදවීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය (Precursors) අපනයනය නතර කිරීමට චීනය එකඟ වී ඇත්තේ ඒ වෙනුවෙන් ඇමෙරිකාව පනවා තිබූ ආනයන බදු ලිහිල් කිරීමේ පොරොන්දුව මතය.
මෙම මර්දන මෙහෙයුම පිළිබඳව තොරතුරු හෙළිවන්නේ, ඉරාන-ඇමෙරිකානු යුද්ධය හේතුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය චීන සංචාරය කල් දැමීමට තීරණය කර ඇති පසුබිමක ය. හුබෙයි පළාතේ අගනුවර වන වුහාන් (Wuhan) හිදී ඇමෙරිකානු මත්ද්‍රව්‍ය මර්දන ඒකකයේ (DEA) තොරතුරු මත සිදුකළ මෙහෙයුමකදී, ව්‍යාජ සමාගම් පවත්වාගෙන යමින් විදේශයන්ට මත්ද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය අලෙවි කළ ජාලයක් හඳුනා ගැනීමට චීන පොලිසිය සමත් වී තිබේ. පසුගිය ඔක්තෝබර් මාසයේදී ට්‍රම්ප් සහ ෂී ජින්පින් අතර පැවති සාකච්ඡාවලින් පසු ෆෙන්ටැනයිල් සම්බන්ධ බදු ප්‍රතිශතය 10% දක්වා අඩු කිරීමට දෙපාර්ශවය එකඟ විය.
චීන බලධාරීන් පවසන්නේ මෙම මෙහෙයුම යටතේ සමාගම් හතරකට දඬුවම් පනවා ඇති අතර තවත් පුද්ගලයන් රැසකට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි. කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඇමෙරිකාව සහ චීනය අතර ඇති කරගත් වෙළඳ සහයෝගීතාවය සහ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යාම දෙරටටම අභියෝගයක් වී තිබේ. එළඹෙන අප්‍රේල් මස අගදී ට්‍රම්ප් සහ ෂී ජින්පින් අතර යළිත් සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එහිදී මෙම මර්දන මෙහෙයුම්වල ප්‍රගතිය පිළිබඳව අවධානය යොමු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














