චීන චන්ද්‍ර අලුත් අවුරුදු උත්සවයට දින දෙකක් තිබියදී නැගෙනහිර චීනයේ ජියැන්ග්සු (Jiangsu) පළාතේ ගිනිකෙළි අලෙවිසලක සිදුවූ දරුණු පිපිරීමකින් පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ප්‍රදේශවාසියෙකු විසින් අලෙවිසල අසලදී අනිසි ලෙස ගිනිකෙළි දැල්වීම මෙම පිපිරීමට හේතු වී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. අඟහරුවාදාට යෙදෙන ‘අශ්ව වසරේ’ (Year of the Horse) උදාව සැමරීමට චීන ජනතාව සූදානම්ව සිටින පසුබිමක මෙම අනතුර සිදුව ඇති අතර, මීට පෙර වායු දූෂණය හේතුවෙන් පනවා තිබූ ගිනිකෙළි තහනම ඇතැම් ප්‍රදේශවල ලිහිල් කිරීමත් සමඟ මෙවැනි අනතුරු පිළිබඳ අවදානම ඉහළ ගොස් තිබේ.
මෙම සිදුවීමෙන් පසු චීන හදිසි කළමනාකරණ අමාත්‍යාංශය විසින් සියලුම ප්‍රදේශවල ගිනිකෙළි නිෂ්පාදනය, ප්‍රවාහනය සහ අලෙවිය සම්බන්ධයෙන් දැඩි සුපරීක්ෂාකාරීව පසුවන ලෙස නියෝග කර ඇත. විශේෂයෙන් අලෙවිසල් ආසන්නයේ ගිනිකෙළි පරීක්ෂා කර බැලීම සපුරා තහනම් කරන ලෙසත්, ජනතාවගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කරන ලෙසත් පළාත් පාලන ආයතන වෙත උපදෙස් ලබා දී තිබේ. පසුගිය වසරේ බ්‍රසීලයේ සාඕ පවුලෝ නුවරදී ද මෙවැනිම ගිනිකෙළි ගබඩාවක් පිපිරී යාමෙන් ජීවිත හානි සිදුවූ අතර, උත්සව සමයන්හිදී සිදුවන මෙවැනි අනතුරු වැළැක්වීම ලෝක මට්ටමින් අභියෝගයක් වී ඇත.













