ගල්ෆ් කලාපයේ යුද ගිනි ඇවිළෙමින් පවතින පසුබිමක, ඕමාන් වෙරළට ආසන්න ජාත්‍යන්තර මුහුදේ රැඳී සිටින චීනයේ ‘Liaowang 1’ බුද්ධි තොරතුරු නෞකාව ලෝක බලවතුන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ. බැලූ බැල්මට සාමාන්‍ය නෞකාවක් ලෙස පෙනුනද, එහි සවිකර ඇති දැවැන්ත රේඩාර් පද්ධති මඟින් කලාපයේ ක්‍රියාත්මක වන සියලුම යුද මෙහෙයුම්වල සංඥා හඹා යෑමේ හැකියාව පවතින බව ආරක්ෂක විශ්ලේෂකයෝ පවසති. මෙම නෞකාව මඟින් ඇමෙරිකානු ප්‍රහාරක නෞකා කණ්ඩායම්, මිසයිල ආරක්ෂක පද්ධති සහ ප්‍රහාරක යානා මඟින් නිකුත් කරන විද්‍යුත් තරංග ග්‍රහණය කර ගනිමින් සමස්ත යුද පිටියම එකම විද්‍යුත් සිතියමක් ලෙස නිරීක්ෂණය කිරීමට චීනයට අවස්ථාව සලසා දී ඇත.
මෑතකදී ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාරවල ඉහළ නිරවද්‍යතාවය පිළිබඳව යුද විශේෂඥයින් මවිතයට පත්ව සිටින අතර, විශේෂයෙන්ම ජෝර්දානයේ පිහිටි ඩොලර් මිලියන 300ක් වටිනා THAAD රේඩාර් පද්ධතියක් සහ බැග්ඩෑඩ් හි ඇමෙරිකානු තානාපති කාර්යාලය ආසන්න ඉලක්ක වෙත ඉතා නිවැරදිව ප්‍රහාර එල්ල කිරීමට ඉරානය සමත් විය. මෙම ප්‍රහාර සඳහා අවශ්‍ය බුද්ධි තොරතුරු සහාය චීන සහ රුසියානු නෞකා මගින් ලැබෙන බවට ඇමෙරිකාව සැක පළ කරයි. ඇමෙරිකානු හමුදා සැලසුම්කරුවන් මෙම නෞකාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව දැනුවත්ව සිටියද, එය ජාත්‍යන්තර මුහුදේ නීත්‍යානුකූලව රැඳී සිටින බැවින් ඊට එරෙහිව සෘජු ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වීම නිසා ඇමෙරිකාව දැඩි අපහසුතාවයකට පත්ව සිටියි.
එවැනි බුද්ධි තොරතුරු නෞකාවකට ප්‍රහාරයක් එල්ල කිරීම චීනය සහ ඇමෙරිකාව අතර සෘජු මහා පරිමාණ යුද්ධයක් කරා මග පෑදිය හැකි බැවින් බලවතුන් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවෙති. නූතන යුද්ධයකදී අවි බලයට වඩා තොරතුරු බලය වැදගත් වන අතර, ‘Liaowang 1’ නෞකාව නිහඬව සිටිමින් සිදුකරන මෙම මෙහෙයුම ගල්ෆ් යුද්ධයේ තීරණාත්මක සාධකයක් වනු ඇති බව යුද විශ්ලේෂකයෝ අවධාරණය කරති. මේ හරහා ඉරානයට සිය මිසයිල ඉලක්ක වෙත දශමස්ථානයට නිවැරදිව ප්‍රහාර එල්ල කිරීමට මඟ පෑදී ඇති බව පෙනී යයි.














