තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණි චීන ජාතික ගුවන් මගියෙකු, රුපියල් පනස්පන් ලක්ෂ පනස් දහසක් වටිනා නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ කටුනායක ගුවන් තොටුපළේදී රේගු භාරයට ගෙන තිබේ. සැකකරු අද (07) අලුයම ගුවන් තොටුපළ හරිත මාවත (Green Channel) ඔස්සේ කිසිදු රේගු ප්‍රකාශ කිරීමකින් තොරව මෙම දුම්වැටි තොගය රැගෙන යාමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන්ගේ සැකයට බඳුන් වී ඇත.
පසුව සිදුකළ පරීක්ෂාවේදී ඔහු සන්තකයේ තිබී චීනයේ නිෂ්පාදිත දුම්වැටි 37,000ක් අඩංගු කාටන් 185ක් සොයා ගැනීමට නිලධාරීන් සමත්ව තිබේ. ශ්‍රී ලංකාව තුළ විකිණීම තහනම් කර ඇති මෙම දුම්වැටි තොගය රාජසන්තක කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.














