චීනයේ වෙසෙන සුළුතර ජාතීන්ගේ සංස්කෘතික අයිතිවාසිකම් සහ භාෂා නිදහස සීමා කළ හැකි බවට විවේචන එල්ල වන නව ‘ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීමේ’ නීතියක් එරට පාර්ලිමේන්තුව විසින් අද (12) සම්මත කර තිබේ. චීනයේ වෙසෙන ජනගහනයෙන් 90%කට වඩා වැඩි පිරිසක් ‘හන්’ (Han) ජාතිකයන් වන අතර, මෙම නව නීතිය මගින් ටිබෙට්, උයිගර් සහ මොංගෝලියානු වැනි සුළුතර ජාතීන් 56 දෙනාම ප්‍රධාන ‘හන්’ සංස්කෘතියට අනුගත කිරීම (Sinicisation) රජයේ අපේක්ෂාව වී ඇත.
මෙම නව නීතියේ ප්‍රධානතම කොන්දේසිය වන්නේ පෙරපාසල් අවධියේ සිට උසස් පාසල් අධ්‍යාපනය අවසන් වන තෙක් සෑම දරුවෙකුටම මැන්ඩරින් (Mandarin) භාෂාව ඉගැන්වීම අනිවාර්ය කිරීමයි. මීට පෙර මෙම ප්‍රජාවන්ට තමන්ගේම මව් භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව තිබුණද, මෙමගින් එය අහිමි වන බව විචාරකයෝ පවසති. එමෙන්ම, ජාතික සමගියට බාධා වන අයුරින් දරුවන්ට අදහස් ලබා දෙන දෙමාපියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද මෙමගින් බලය ලැබේ.
චීන රජය පවසන්නේ මෙම පියවර හරහා සුළුතර තරුණ පරපුරට රැකියා අවස්ථා වැඩි වන අතර රට නවීකරණය කරා ගෙන යාමට මෙය උපකාරී වන බවයි. කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් සංවිධාන චීනයට චෝදනා කරන්නේ ෂින්ජියැං (Xinjiang) කලාපයේ උයිගර් මුස්ලිම්වරුන් මිලියනයකට අධික පිරිසක් ‘නැවත අධ්‍යාපනය ලබාදීමේ’ කඳවුරුවල රඳවා තබමින් ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවයි. ටිබෙට් සහ අභ්‍යන්තර මොංගෝලියාවේ ද මේ වන විට ස්වදේශික භාෂා සහ සංස්කෘතීන් යටපත් කිරීමේ දැඩි පිළිවෙතක් ක්‍රියාත්මක වන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.














