අනාගතයේදී අමෙරිකාව සහ එහි මිත්‍ර රටවල් සමඟ ඇති විය හැකි සබ්මැරීන් යුද්ධයකදී වාසිදායක තත්ත්වයක් ලබා ගැනීම වෙනුවෙන් චීනය පැසිෆික්, ඉන්දීය සහ ආක්ටික් සාගර කලාපයන්හි දැවැන්ත සාගර පතුල සිතියම්ගත කිරීමේ මෙහෙයුමක් දියත් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. අද (2026 මාර්තු 25) නිකුත් වූ වාර්තාවලට අනුව චීනය සතු ‘Dong Fang Hong 3’ වැනි පර්යේෂණ නෞකා මගින් මෙම රහසිගත දත්ත රැස් කිරීම සිදු කෙරේ.
නැව් ලුහුබැඳීමේ දත්ත (Ship-tracking data) පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ මෙම නෞකාව 2024 සහ 2025 වසරවලදී තායිවානය, ගුවාම් දූපත් සහ ජපානය අසල මුහුදු තීරයේ මෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර මුහුදු කලාපයේ ද අඛණ්ඩව සැරිසරා ඇති බවයි. විශේෂයෙන්ම මලක්කා සමුද්‍ර සන්ධිය වැනි ලෝක වෙළඳාමට තීරණාත්මක මුහුදු මාර්ග ආශ්‍රිතව මෙම නෞකාවන් සාගර පතුලේ ස්වභාවය සහ ජලයේ තත්ත්වයන් පිළිබඳව සවිස්තරාත්මක සිතියම් සකස් කරමින් සිටින බව නාවික විශේෂඥයෝ පෙන්වා දෙති.
චීනය පවසන්නේ මෙම මෙහෙයුම් දේශගුණික විපර්යාස සහ මඩ ස්ථර පිළිබඳ පර්යේෂණ සඳහා සිදු කරන බවයි. එහෙත් නාවික හමුදා නිලධාරීන් පවසන්නේ සාගර පතුලේ භූ විෂමතාවය සහ සවිකර ඇති සංවේදක (Sensors) හරහා ලබා ගන්නා දත්ත සතුරු සබ්මැරීන් හඳුනා ගැනීමට සහ චීන සබ්මැරීන් වඩාත් ආරක්ෂිතව මෙහෙයවීමට අත්‍යවශ්‍ය වන බවයි. මෙම මෙහෙයුම සඳහා පර්යේෂණ නෞකා 42ක් සහ සංවේදක සිය ගණනක් චීනය විසින් යොදවා ඇති බව ද අනාවරණය වී තිබේ.















