මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය තත්ත්වය හමුවේ චීනය ඊශ්‍රායලය වෙත සෘජු අවධාරණයක් සිදු කර තිබේ. බලහත්කාරයෙන් ගැටලු විසඳීමට උත්සාහ කිරීමෙන් සිදු වන්නේ පවතින අර්බුද තවදුරටත් සංකීර්ණ වීම සහ බරපතළ දිගුකාලීන ප්‍රතිවිපාක ඇති වීම පමණක් බව චීනය පෙන්වා දෙයි.
ඊශ්‍රායල විදේශ අමාත්‍ය ගිඩියොන් සාර් (Gideon Sa’ar) මහතා සමඟ පැවැති දුරකථන සංවාදයකදී චීන විදේශ අමාත්‍ය වං යී (Wang Yi) මහතා ප්‍රකාශ කර ඇත්තේ, ගැටුම් පාලනයෙන් පිටතට යාම වැළැක්වීම සඳහා හමුදා මෙහෙයුම් වහාම නතර කළ යුතු බවයි. ජාත්‍යන්තර සබඳතාවලදී බලය අනිසි ලෙස භාවිත කිරීමෙන් හෝ තර්ජනය කිරීමෙන් සියලු පාර්ශ්වයන් වැළකී සිටිය යුතු බවත්, එය ඊශ්‍රායලයේ ආරක්ෂාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ මූලික අවශ්‍යතාවලට අදාළ වන බවත් ඔහු අවධාරණය කළේය.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූලව සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට චීනය සැමවිටම පෙනී සිටින බව පැවසූ වං යී මහතා, ඉරානය සහ ඇමරිකාව අතර පැවැති සාකච්ඡා මගින් ලබාගත් ප්‍රගතියට වත්මන් සන්නද්ධ ගැටුම් බාධාවක් වී ඇති බව ද කණගාටුවෙන් යුතුව සඳහන් කර සිටියේය. මැදපෙරදිග ගැටලුව සම්බන්ධයෙන් සාධාරණ ස්ථාවරයක සිටිමින් ගැටුම් අවම කිරීමට චීනය අඛණ්ඩව මැදිහත් වන බව ද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ විය.














