ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු පියවර කිහිපයක් අවලංගු කිරීමෙන් පසු පැන නැගී ඇති තත්ත්වය පිළිබඳව චීනය දැඩි අවධානයෙන් පසුවන බව එරට වාණිජ අමාත්‍යාංශය සඳහන් කරයි. “සහයෝගීතාවයෙන් දෙපාර්ශවයටම වාසි සැලසෙන නමුත්, ගැටුම් ඇති කර ගැනීම දෙරටටම හානිකර” බව පවසන චීනය, වොෂින්ටනය විසින් පනවා ඇති ඒකපාර්ශ්වික තීරුබදු පියවර වහාම ඉවත් කරන ලෙස ඉල්ලා සිටියි. අධිකරණ තීන්දුවෙන් පසු ට්‍රම්ප් විසින් සියලුම ආනයන සඳහා නව 15%ක තීරුබද්දක් හඳුන්වා දීමට ගත් තීරණය ජාත්‍යන්තර වෙළෙඳ නීති උල්ලංඝනය කිරීමක් බවත්, එය දේශපාලන අවියක් ලෙස භාවිත කරන බවත් චීන බලධාරීන් පෙන්වා දෙයි.
මෙම අර්බුදය හමුවේ දකුණු කොරියාව සහ ඉන්දියාව වැනි රටවල් ද දැඩි කනස්සල්ලට පත්ව සිටී. නව තීරුබදු අවිනිශ්චිතතාවය හේතුවෙන් ඉන්දියාව සිය වෙළෙඳ දූත පිරිසකගේ ඇමරිකානු සංචාරය ද කල් දමා තිබේ. එළඹෙන මාර්තු අගදී ජනාධිපති ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැත්වීමට නියමිත හමුවේදී මෙම වෙළෙඳ ගැටලු ප්‍රධාන මාතෘකාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. යුරෝපා මහ බැංකුවේ සභාපති ක්‍රිස්ටීන් ලගාර්ඩ් ද පවසා ඇත්තේ මෙවැනි නීතිමය සටන් සහ තීරුබදු වෙනස්වීම් ගෝලීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැඩි කඩා වැටීම්වලට හේතු විය හැකි බවයි.














