මහනුවර යුගයේ අවසන් රජු වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ කුණ්ඩසාලේ උඩවත්ත පුරාවිද්‍යා භූමියේ පිහිටි ඓතිහාසික සඳකඩපහණක් අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු නියෝජ්‍ය පොලිස්පති (DIG) ප්‍රසාද් රණසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (10) පෙරවරු 11:45ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ඓතිහාසික පුරාවස්තුව සොරකම් කිරීම සම්බන්ධයෙන් පැවැති විමර්ශනවලට අනිසි බලපෑම් එල්ල කිරීම, විමර්ශන කටයුතු අඩාල කිරීම සහ සැකකරුවන්ට නීතියෙන් බේරීමට ආධාර අනුබල දීම යන දූෂණ චෝදනා ඔහුට එරෙහිව එල්ල වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














