වෙනත් පුද්ගලයෙකුට අයත් වාහනයක QR කේත පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී, එහි දත්ත වෙනස් කර ව්‍යාජ කේත සකස් කරමින් නීති විරෝධී ලෙස ඉන්ධන ලබාගත් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. කාන්තාවකට අයත් වාහනයක දත්ත උපයෝගී කරගනිමින් නව QR කේතයක් නිර්මාණය කර ඇති බවට තහවුරු වී ඇති අතර, 1919 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ලැබුණු තොරතුරකට අනුව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය කළ පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට (CCID) අනුයුක්ත සයිබර් නිරීක්ෂණ සහ බුද්ධි ඒකකය විසින් සිදුකළ තාක්ෂණික විමර්ශනවලින් පසුව පිළියන්දල ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වංචනික ක්‍රියාව සඳහා අදාළ ඉන්ධන පිරවුම්හල්වල සේවකයන් හෝ වෙනත් පාර්ශවයන් සහාය ලබා දී ඇත්ද යන්න පිළිබඳව ද මේ වන විට පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක වේ. පවතින ඉන්ධන අර්බුදය හමුවේ රජය හඳුන්වා දී ඇති QR කේත පද්ධතියේ ආරක්ෂාව බිඳ දමමින් මෙවැනි අපරාධ සිදු කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව බලධාරීහු අවධාරණය කරති.














