Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව දිවයින පුරා ක්‍රියාත්මක වන “දැය නංවන සපිරි ගමක්” ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියේ (2025-2027) කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමාරම්භක උත්සවය අද (16) පැවැත්විණි. නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් හිඹුටාන ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේදී මෙම කටයුතු ආරම්භ විය.
මෙම ජාතික ව්‍යාපෘතිය යටතේ කොලොන්නාව බල ප්‍රදේශයේ ආදර්ශ ගම්මානය ලෙස 503/සී මල්ගම ග්‍රාම නිලධාරි වසම තෝරාගෙන ඇත. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය ඇතුළු ආයතන කිහිපයක් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ඵලදායිතා සංකල්පය ගමට සහ නිවසටම හඳුන්වා දීමයි.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කළේ වංචාව සහ දූෂණය නතර කිරීමෙන් ඉතිරි කරගත් මුදල් ජනතාවගේ සංවර්ධන කටයුතු සඳහා යොදවන බවයි. අධ්‍යාපනය, ආර්ථිකය, සෞඛ්‍යය, සංස්කෘතික සහ පරිසර යන සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සාමූහිකව දායක වන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ධනුෂ්ක ප්‍රියදර්ශන මහතා සහ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.














