ලිංගික ජාවාරම් චෝදනා මත සිරගතව සිටියදී මියගිය ජෙෆ්රි එප්ස්ටයින්ගේ අපරාධ ජාලය පිළිබඳ විමර්ශන යළිත් කරළියට පැමිණ ඇති අතර, ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ හිලරි ක්ලින්ටන් කොංග්‍රස් මණ්ඩල කමිටුව හමුවේ පෙනී සිටියහ. එහිදී හිලරි ක්ලින්ටන් අවධාරණය කළේ එප්ස්ටයින් සිදුකළ අපරාධ පිළිබඳව තමාට කිසිදු පූර්ව දැනුමක් නොතිබූ බවයි. එසේම, වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද අතීතයේදී එප්ස්ටයින් සමඟ සබඳතා පවත්වා ඇති බව පෙන්වා දුන් ඇය, ඒ පිළිබඳව ඔහුගෙන් ද දිවුරුම් දී ප්‍රශ්න කරන ලෙස නීති සම්පාදකයන්ගෙන් ඉල්ලා සිටියාය. සත්‍යය හෙළිවීම තමාට ද අත්‍යවශ්‍ය කරුණක් බව ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළාය.
මේ අතර, සාක්ෂි ලබාදුන් හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් ප්‍රකාශ කළේ දශක දෙකකට පමණ පෙර තමා එප්ස්ටයින් සමඟ පැවති සියලු සබඳතා අත්හැර දැමූ බවයි. ජනාධිපති ධුරයෙන් ඉවත් වූ පසු තමා වැඩි වශයෙන් පුණ්‍ය කටයුතුවල නිරත වූ බවත්, එම වපසරිය තුළ පමණක් ඔවුන් අතර යම් සම්බන්ධයක් ඇති වූ බවත් ඔහු පැවසීය. කෙසේ වෙතත්, එප්ස්ටයින්ගේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව තමා කිසිවක් දැන නොසිටි බවත්, එවැනි පුද්ගලයෙකු ඇසුරු කිරීම පිළිබඳව කණගාටුව පළ කරන බවත් ඔහු කියා සිටියේය. මෙම විමර්ශනය සඳහා දැනට සිරගතව සිටින ගිස්ලේන් මැක්ස්වෙල් ද සාක්ෂි ලබා දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරන අතර, ඉදිරියේදී තවත් ප්‍රභූවරුන් රැසකගේ නම් මෙම නඩු විභාගය තුළ කියවෙනු ඇතැයි විශ්වාස කෙරේ.













