පසුගිය පෙබරවාරි අග භාගයේදී ඇමරිකාව සහ ඉරානය අතර යුද්ධය ආරම්භ වීමෙන් පසුව, බටහිර යුරෝපයට සම්බන්ධ ප්‍රථම වාණිජ නෞකාව ලෙස ප්‍රංශයේ ‘CMA CGM’ සමාගමට අයත් නෞකාවක් හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සාර්ථකව තරණය කර තිබේ. නෞකා ගමන් මග නිරීක්ෂණ දත්තවලට අනුව, මෝල්ටා ධජය යටතේ යාත්‍රා කරන ‘CMA CGM Kribi’ නමැති මෙම බහාලුම් නෞකාව ඊයේ (02) පස්වරුවේ ඩුබායි මුහුදු තීරයේ සිට නැගෙනහිර දෙසට යාත්‍රා කර ඇත.
ලොව තෙවන විශාලතම බහාලුම් නෞකා සමාගම වන CMA CGM වෙත අයත් මෙම නෞකාව, ඉරාන වෙරළ තීරයට ඔබ්බෙන් පිහිටි කේෂ්ම් (Qeshm) සහ ලාරක් (Larak) දූපත් අතර අනුමත මුහුදු මග ඔස්සේ ගමන් කර තිබේ. යුදමය වාතාවරණය හේතුවෙන් මාර්තු මුල සිට පර්සියානු බොක්කේ නවතා තිබූ මෙම නෞකාව, තමන් ප්‍රංශ හිමිකාරීත්වය සහිත නෞකාවක් බව ප්‍රසිද්ධ කරමින් මෙම සංවේදී මුහුදු කලාපය තරණය කිරීම විශේෂත්වයකි.
යුද්ධය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන වාණිජ නෞකා ගමනාගමනය දැඩි ලෙස සීමා වී ඇති පසුබිමක, ප්‍රංශ නෞකාවක මෙම ගමන ජාත්‍යන්තර මුහුදු ගමන් ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව ඇත. මෙය කලාපයේ නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත්වීමේ සලකුණක් ද යන්න පිළිබඳව විචාරකයන් අවධානයෙන් පසුවේ.














