ගල් අඟුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සියලු තාක්ෂණික කමිටු මගින් විනිවිද පෙනෙන ලෙස සිදු කර තිබියදී, විපක්ෂය සහ ඇතැම් මාධ්‍ය නාලිකා එක්ව වංචාවක් සිදුව ඇති බවට පදනම් විරහිත ප්‍රචාර පතුරුවන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, රජය විසින් අදාළ සියලු දත්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බැවින් මෙම අසත්‍ය ප්‍රචාරවලට වැඩි ආයුෂ නොමැති බවයි. යම් හෙයකින් සැපයුම්කරු ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සැපයුවහොත් නීතිමය මගින් වන්දි ලබා ගැනීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ක්‍රියාකලාපය විවේචනය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, බිම් මට්ටමේ දේශපාලනයක් නොමැති හෙයින් විපක්ෂය මෙවැනි පටු උත්සාහයන්හි නිරත වන බව පැවසීය. මීට අමතරව කඩුගන්නාව ‘කළු පාලම’ ස්ථාවර කිරීම සඳහා ‘මයික්‍රෝ ෆයිලින්’ තාක්ෂණය භාවිතා කරන බවත්, අධික වර්ෂාවෙන් තාවකාලික පාලමට හානි වුවද සැලසුම් සහගතව එහි වැඩකටයුතු සිදුවන බවත් ඔහු අනාවරණය කළේය. ඉන්දීය ණය ආධාර යටතේ රඹුක්කන සිට කඩුගන්නාව දක්වා දුම්රිය මාර්ගය සංවර්ධනය කර නියමිත දිනට මහනුවරට දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














