ගල් අඟුරු මිලදී ගැනීම සඳහා වන ටෙන්ඩර් පිරිනැමීමේදී (Spot Tender) සිදුව ඇතැයි පැවසෙන වංචාවක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අද (13) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා ඇතුළු පිරිසක් විසින් මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබූ අතර, අදාළ ටෙන්ඩරය ජනාධිපතිවරයාට හිතවත් පුද්ගලයකුට ලබා දීමට උත්සාහ කර ඇති බවට හඬපටයක් මඟින් අනාවරණය වී ඇති බව ඔවුහු පවසති.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මුජිබර් රහ්මාන් මහතා සඳහන් කළේ, අදාළ හඬපටය මඟින් මෙම ගනුදෙනුවේදී පැහැදිලි වංචාවක් සිදුව ඇති බව තහවුරු වන බවයි. රජය විසින් සිදු කරන මෙවැනි විනිවිදභාවයකින් තොර ගනුදෙනු හරහා මහජන මුදල් අවභාවිත වන බවත්, ඒ පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් මන්ත්‍රීවරයා මෙහිදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.














