කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ (Gustavo Petro) විසින් ඉක්වදෝර හමුදා තම දේශසීමාව තුළට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට බරපතල චෝදනාවක් එල්ල කර ඇති අතර, දේශසීමා අසල තිබී පිළිස්සී ගිය පුද්ගල මළසිරුරු 27ක් හමුවීමත් සමඟ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දැඩි ලෙස පළුදු වී තිබේ. මෙම ප්‍රහාරය කොලොම්බියානු හමුදා හෝ එරට ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායම් විසින් සිදු කරන ලද්දක් නොවන බවත්, ප්‍රහාරය එල්ල කළ ගුවන් යානා ඉක්වදෝරය දෙසින් පැමිණ ඇති බවත් ජනාධිපති පෙට්‍රෝ අවධාරණය කරයි.
ප්‍රහාරය එල්ල වූ ස්ථානයට මීටර් 100ක් පමණ දුරින් පිහිටි දුප්පත් ගොවි නිවසක් අසල තිබී පුපුරා නොගිය බෝම්බයක් ද හමු වී ඇති අතර, කොකා වගාව වෙනුවට නීත්‍යානුකූල වගාවන්හි නිරත වන සාමකාමී පවුල් ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල වී ඇති බව කොලොම්බියාව පවසයි. කෙසේ වෙතත්, ඉක්වදෝර ජනාධිපති ඩැනියෙල් නොබෝවා (Daniel Noboa) මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ තම හමුදා ක්‍රියාත්මක වන්නේ ඉක්වදෝර දේශසීමාව තුළ පමණක් බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සැඟවුණු ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවත්ය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීප හිතවතෙකු වන ජනාධිපති නොබෝවා, කොලොම්බියාව සිය දේශසීමා නිසි ලෙස පාලනය නොකිරීම හේතුවෙන් අපරාධ කල්ලි ඉක්වදෝරයට ඇතුළු වන බවට මීට පෙර චෝදනා කර තිබුණි. මෙම අර්බුදය හමුවේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා මැදිහත් වන ලෙස ජනාධිපති පෙට්‍රෝ ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් ද කර ඇත. දැනටමත් දෙරට අතර වෙළඳ බදු පැනවීම් සහ විදුලි අපනයනය සීමා කිරීම් වැනි ආර්ථික ගැටුම් පවතින පසුබිමක මෙම හමුදාමය මැදිහත්වීම් කලාපීය ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් වී තිබේ.














