එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන මගී ජනතාවට නවීන සහ සුඛෝපභෝගී පහසුකම් සැලසීම සඳහා කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ (Bastian Mawatha Bus Station) කඩිනමින් නවීකරණය කිරීමට රජය පියවර ගෙන තිබේ. රුපියල් මිලියන 450ක පිරිවැයක් යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ සුවිශේෂීම අංගය වන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සෘජු ශ්‍රම දායකත්වය සැපයීමයි.
ව්‍යාපෘතිය නියමිත කාලසීමාවට පෙර අවසන් කිරීම සහ ඒ සඳහා පවතින බාධාවන් හඳුනාගෙන විසඳා ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (12) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ සුවපහසු සේවාවක් ලබා දීම රජයේ මූලික අරමුණ වන අතර, මෙහිදී මගීන්ට විවේක ගැනීමට අවශ්‍ය පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් සහ ආපනශාලා පහසුකම් ද නවීන තාක්ෂණයට අනුකූලව වැඩි දියුණු කෙරෙනු ඇත.














