කොළඹ නගර සභා සීමාව තුළ රථවාහන ගාල් කිරීමේදී අය කරනු ලබන ගාස්තු අද (23) පෙරවරු 6.00 සිට නැවත ක්‍රියාත්මක කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ. රජය විසින් හඳුන්වා දුන් QR කේත ක්‍රමය සහ වාහන අංක අනුව (ඔත්තේ/ඉරට්ටේ) ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් අසල පැවති පෝලිම් සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව නිරීක්ෂණය වීම මෙම තීරණයට හේතු වී ඇත.
මීට පෙර, ඉන්ධන පිරවුම්හල් ආසන්නයේ පැවති දැඩි වාහන තදබදය සහ පෝලිම් සැලකිල්ලට ගනිමින් පසුගිය මාර්තු 18 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රථවාහන නැවතුම් ගාස්තු අය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබුණි. කෙසේ වෙතත්, කොළඹ මහ නගර සභාවේ මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාව විසින් ගනු ලැබූ නවතම තීරණයකට අනුව, අද සිට සුපුරුදු පරිදි රථවාහන ගාල් කළමනාකරණය සහ ගාස්තු අය කිරීම් සිදු කරනු ලැබේ.














