දකුණු මුහුදු තීරයේදී අතිවිශාල මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ, පසුගිය පළාත් පාලන මැතිවරණයට සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු වන වසන්ත පුෂ්පකුමාර ඇතුළු සැකකරුවන් නවදෙනා ලබන මාර්තු මස 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (03) නියෝග කළේය.
සැකකරුවන් සන්තකයේ තිබී අයිස් (Ice) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 261ක් සහ හෙරොයින් (Heroin) කිලෝග්‍රෑම් 115ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. අද දින සැකකරුවන් සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කළ අතර, විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැති බැවින් ඔවුන් තවදුරටත් බන්ධනාගාරගත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය.
මීට අමතරව, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට යොදාගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබූ ජී.පී.එස්. (GPS) යන්ත්‍රය මිනින්දෝරු දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමටත්, සැකකරුවන් සන්තකයේ තිබූ ගිනි අවි දෙක රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තා කැඳවීමටත් මහෙස්ත්‍රාත්වරයා මෙහිදී අවසර ලබා දුන්නේය. රක්ෂිත බන්ධනාගාරගත කළ පිරිස අතර තංගල්ල ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය නොයෙල් රංජිත් ප්‍රනාන්දු, දුලාන් සජිත් අසලංක සහ නුවන් පුෂ්පකුමාර ඇතුළු සැකකරුවන් පිරිසක් සිටිති.















