ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි සිදුවූ කැපී පෙනෙන ඉහළ යාමත් සමඟ මෙරට රන් මිල ද අද (මාර්තු 25) සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ දත්තවලට අනුව අද උදෑසන වන විට රන් පවුමක මිල රුපියල් 8,000ක සමස්ථ වැඩිවීමක් පෙන්නුම් කරන අතර ඒ අනුව රන් පවුමක මිල යළිත් රුපියල් ලක්ෂ 4 සීමාවට ආසන්න වෙමින් පවතී. ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද වන විට ඇමෙරිකානු ඩොලර් 4,569 දක්වා ඉහළ ගොස් තිබීම මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇති අතර අද දිනයේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 24 රන් පවුමක මිල රුපියල් 393,000ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේ රුපියල් 385,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුම මෙලෙස ඉහළ ගොස් ඇති අතර කැරට් 22 රන් පවුමක මිල අද දිනයේ රුපියල් 361,500ක් ලෙස සටහන් වේ. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය සහ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාව හමුවේ ආයෝජකයින් ආරක්ෂිත ආයෝජනයක් ලෙස රත්‍රං වෙත යොමු වීම නිසා ලෝක වෙළෙඳපොළේ මෙම මිල ඉහළ යාම සිදු වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙම තත්ත්වය හමුවේ මෙරට ස්වර්ණාභරණ ක්ෂේත්‍රය කෙරෙහි ද සෘජු බලපෑමක් එල්ල වී ඇති අතර ඉදිරි දිනවලදී ද ලෝක වෙළෙඳපොළ හැසිරීම අනුව රන් මිල ගණන් තවදුරටත් උච්චාවචනය විය හැකි බව වෙළෙඳපොළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.














