හංවැල්ල සහ කොළඹ අතර ධාවනය වන මාර්ග අංක 143 පෞද්ගලික බස් රථ සේවකයින් අද (09) පෙරවරුවේ සිට හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. කඩුවෙල සහ පිටකොටුව අතර ධාවනය වන පෞද්ගලික බස් රථ සේවකයින් සමඟ මගීන් නංවා ගැනීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මෙම වර්ජනයට සෘජු හේතුව වී ඇති බව වාර්තා වේ.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජයසිංහ මහතා සඳහන් කළේ, මගීන් හැසිරවීමේදී ඇති වූ මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා අදාළ පාර්ශවයන් අද උදෑසන විශේෂ සාකච්ඡාවකට කැඳවා ඇති බවයි. එම සාකච්ඡාවේ ප්‍රතිඵල මත පදනම්ව බස් රථ ධාවනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙම වර්ජනය හේතුවෙන් හංවැල්ල, කඩුවෙල සහ ඒ අවට ප්‍රදේශවල සිට කොළඹ බලා පැමිණෙන මගීන් මෙන්ම කාර්යාල සේවකයින් ද දැඩි අපහසුතාවට පත්ව සිටිති. මාර්ග අංක 143 බස් රථ ධාවනය නොවීම නිසා පවතින තදබදය අවම කිරීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) අතිරේක බස් රථ යෙදවීමට ද පියවර ගෙන ඇති බව වාර්තා වේ.














