හෙරොයින් සහ අයිස් (Ice) මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරුවන් වූ ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයෙකු ලෙස සැලකෙන සමන්ත කුමාර පෙරේරා හෙවත් ‘අයි.ඩී.එච්. සුද්දා’ සහ ප්‍රභාකරන් ප්‍රියදර්ශනී නමැති කාන්තාවකට කොළඹ මහාධිකරණය අද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, ඉදිරිපත් වූ සාක්ෂි සැලකූ කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව මෙහිදී විනිසුරුවරයා අවධාරණය කළේය.














