කොළඹ නාරාහේන්පිට පිහිටි නයින්වෙල්ස් (Ninewells) රෝහලේ නව වෛද්‍ය සහ ශල්‍ය සත්කාර වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙරට පුද්ගලික අංශයේ මව් සහ ළමා සත්කාර සඳහා ප්‍රමුඛස්ථානයක් ගන්නා මෙම රෝහලේ නව සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 6කට ආසන්න මුදලක් වැය කිරීමට කළමනාකාරීත්වය සැලසුම් කර තිබේ.
මහල් 14කින් සමන්විත වන මෙම නව ගොඩනැගිල්ල ඇඳන් 125ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එයට අතිනවීන ශල්‍යාගාර, රසායනාගාර, දැඩි සත්කාර ඒකක සහ වාට්ටු ඇතුළු අංශ රැසක් ඇතුළත් වේ. මෙම දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතිය වසර තුනක් ඇතුළත, එනම් 2029 වසර අවසන් වීමට පෙර නිම කොට ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, නයින්වෙල්ස් රෝහලේ මෙම නව්‍ය පරිවර්තනය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක වර්ධනයට වැදගත් පියවරක් වනු ඇති බවයි. කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් විශේෂිත සේවාවන් සපයන මෙම රෝහල, නව වාට්ටු සංකීර්ණය හරහා සිය වෛද්‍ය සේවා පරාසය තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරයි.













