ඉන්ධන අර්බුදය හමුවේ තාවකාලිකව අත්හිටුවා තිබූ කොළඹ නගරයේ රථවාහන නැවැත්වීමේ ගාස්තු (Parking Fees) අය කිරීම අද (23) උදෑසන 6.00 සිට නැවත ආරම්භ කරන බව කොළඹ මහ නගර සභාව නිවේදනය කරයි. නාගරික කොමසාරිස්වරයා සඳහන් කළේ මුදල් පිළිබඳ කාරක සභාවේ තීරණයකට අනුව මෙම පියවර ගත් බවයි.
පසුගිය 18 වැනිදා සිට රථවාහන නැවතුම් ගාස්තු අය කිරීම අත්හිටුවනු ලැබුවේ ඉන්ධන පිරවුම්හල් අසල පැවති දැඩි වාහන පෝලිම් හේතුවෙන් මහජනතාව පත්ව සිටි දුෂ්කරතාව සැලකිල්ලට ගනිමිනි. කෙසේ වෙතත්, ඉන්ධන බෙදා හැරීම සඳහා හඳුන්වා දුන් QR ක්‍රමවේදය සහ ඔත්තේ/ඉරට්ටේ අංක ක්‍රමය (Odd/Even system) නිසා පෝලිම් පාලනය වී ඇති බැවින්, රථවාහන ගාල් කළමනාකරණය යළි විධිමත් කිරීමට නගර සභාව තීරණය කර ඇත.
ඒ අනුව අද සිට කොළඹ නගර සභා සීමාව තුළ වාහන නවත්වන රියදුරන් සුපුරුදු පරිදි නියමිත ගාස්තු ගෙවීමට බැඳී සිටී. පවතින උග්‍ර ඉන්ධන හිඟය සහ බස් ධාවනය අඩාල වීම හමුවේ පෞද්ගලික වාහන භාවිත කරන ජනතාවට මෙය තවත් අතිරේක වියදමක් වනු ඇතැයි විවේචන එල්ල වෙමින් පවතී.














