කොළඹ පීපල්ස් පාර්ක් (People’s Park) පරිශ්‍රයේ සිට හැටන්, නාවලපිටිය සහ ඩයගම යන ප්‍රදේශ දක්වා ඊයේ (11) රාත්‍රියේ අනවසරයෙන් මගීන් ප්‍රවාහනය කිරීමට සූදානම් වූ බස් රථ කිහිපයක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කර තිබේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂණ නිලධාරීන් සහ බැස්ටියන් මාවත බස් පර්යන්තයේ නිලධාරීන් ඒකාබද්ධව මෙම වැටලීම සිදු කර ඇත.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම බස් රථ මගී ප්‍රවාහනය සඳහා අවශ්‍ය නිසි බලපත්‍ර නොමැතිව ධාවනය කිරීමට සැලසුම් කර තිබූ බවයි. එමෙන්ම, උත්සව සමය ඉලක්ක කර ගනිමින් මගීන්ගෙන් නියමිත බස් ගාස්තුව ඉක්මවා වැඩිපුර මුදල් අය කර ඇති බවද නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
අදාළ බස් රථවල ගමන් කිරීමට පැමිණ සිටි මගීන් මේ පිළිබඳව දැනුවත් කිරීමට නිලධාරීන් පියවර ගත් අතර, බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම සහ අනවසර ධාවනය සම්බන්ධයෙන් එම බස් රථවලට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබේ. උත්සව සමයේ මගී ජනතාව සූරාකන මෙවැනි අනවසර ප්‍රවාහන සේවා පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.














