පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රයේ ආරක්ෂාව තහවුරු කිරීම සහ පොදු දේපළ නිසි පරිදි පරිහරණය කිරීම සම්බන්ධයෙන් මගී ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (අප්‍රේල් 12) පවත්වන ලදී. ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා පොලිසිය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ උත්සව සමයේ බස් නැවතුම්පොළ වෙත පැමිණෙන මගී ජනතාවගේ ආරක්ෂාව සැලසීම සහ පොදු දේපළ අවභාවිතය වැළැක්වීමයි.
මෙම දැනුවත් කිරීමේ වැඩසටහන යටතේ මගී ජනතාව වෙත විශේෂ අත්පත්‍රිකා බෙදා දීම සිදු වූ අතර, පොදු දේපළ ආරක්ෂා කිරීමේ වැදගත්කම සහ ඒ සම්බන්ධ නීතිමය ප්‍රතිපාදන පිළිබඳව ද පැහැදිලි කිරීම් සිදු කෙරිණි. එමෙන්ම සැකකටයුතු පුද්ගලයන් හෝ භාණ්ඩ පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස මගීන් දැනුවත් කිරීමට ද ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි.
මෙම අවස්ථාව සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනගරත්න මහතා සහ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා ඇතුළු ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.














