කොළඹ වරාය නගරයේ (Port City) පසුගිය 28 වැනිදා පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර අතුරුදහන්ව පසුව මළසිරුරු හමුවූ තරුණයා සහ තරුණිය සම්බන්ධයෙන් පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී තිබේ. කොළඹ ජාතික රෝහලේදී අද (03) සිදුකළ මෙම පරීක්ෂණයේදී මරණයට නිශ්චිත හේතුව අනාවරණය වී නොමැති අතර, සිරුරු කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරියා පියවර ගෙන ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන පරිදි, යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයාගේ සිරුර පෙරේදා දින වරාය නගර මුහුදු තීරයේ පාවෙමින් තිබියදී සොයාගත් අතර, ගම්පහ උඩුපිල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණියගේ සිරුර ඊයේ දිනයේදී සොයා ගැනුණි. ඔවුන් දෙදෙනා ප්‍රසංගය නැරඹීමට පැමිණ සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇති අතර, මෙය දියේ ගිලීමක් ද නැතහොත් වෙනත් බාහිර හේතුවක් ද යන්න පිළිබඳව රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසු නිශ්චිතවම ප්‍රකාශ කළ හැකි වනු ඇත.














