කොළඹ වරාය නගරය වෙත ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව අතර විධිමත් සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් සකස් කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නිර්දේශ කර තිබේ. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් ඉකුත් 10 වැනිදා රැස්වූ කාරක සභාවේදී, වරාය නගරයේ භූමි පරිහරණය සහ සංවර්ධන පාලන රෙගුලාසි සංශෝධනය කිරීම සඳහා වන අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුමැතිය හිමිවිය. ආයෝජකයන්ට අවශ්‍ය සියලු අනුමැතීන් එක් ස්ථානයකින් ලබාගත හැකි “ඒකල කවුළු පද්ධතියක්” (Single Window System) ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව මෙහිදී දැඩි ලෙස අවධාරණය කෙරුණු අතර, ආයෝජන ප්‍රවර්ධන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා BOI ආයතනයේ සහාය ලබා ගැනීම මෙහි අරමුණයි. මීට අමතරව, මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව ආරක්ෂිත ආයෝජන කලාපයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට ඇති හැකියාව පිළිබඳව ද නිලධාරීන් කරුණු පැහැදිලි කළහ.
වරාය නගරය තුළ මහල් නිවාස රුපියල්වලින් ශ්‍රී ලාංකිකයන්ට අලෙවි කළ හැකි වුවද, සමස්ත ඉදිකිරීම් පිරිවැය අනිවාර්යයෙන්ම විදේශ විනිමය මූලාශ්‍රවලින් එනම් විදේශ ණය හෝ විදේශිකයන්ට සිදුකරන අලෙවි මගින් පියවිය යුතු බවට වැදගත් තීරණයක් ගෙන ඇත. එමෙන්ම කොමිෂන් සභාවේ අවසරයකින් තොරව මහල් නිවාස ප්‍රවර්ධනය කළ ශ්‍රී ලාංකික සමාගම් දෙකකට එම කටයුතු වහාම නතර කරන ලෙස (Cease and Desist) ලිඛිතව දැනුම් දී ඇති බව ද මෙහිදී අනාවරණය විය. වරාය නගරයේ ජල සම්පාදනය ඇතුළු යටිතල පහසුකම් සඳහා රජය මෙතෙක් රුපියල් බිලියන 9.9ක් වැය කර ඇති අතර, එම පිරිවැය ඉඩම් බදු කුලිය හරහා අයකර ගැනීමට සැලසුම් කර ඇත. විදුලි මෙහෙයුම් කටයුතු සඳහා භූමිය වෙන් කිරීම සහ ගොඩනැගිලිවල උපරිම උස තීරණය කිරීම සම්බන්ධ තාක්ෂණික සංශෝධනවලට ද කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. මෙම නව යාන්ත්‍රණය හරහා වරාය නගරය ජාත්‍යන්තර මූල්‍ය සහ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙස කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරයි.














