කොළඹ වරායේ NCT පිටවීමේ ද්වාරය (Exit Gate) ආශ්‍රිතව සිදුවන විවිධ අක්‍රමිකතා සහ දූෂණ වැළැක්වීම සඳහා හඳුන්වා දීමට නියමිත නව මාර්ගගත (Online) පද්ධතිය පිළිබඳව වෙළඳ ප්‍රජාව සහ අනෙකුත් පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් එළඹෙන මාර්තු 31 වැනිදා පැවැත්වීමට නියමිතය. රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9:30 ට මෙම සැසිය ආරම්භ වීමට නියමිත බව ශ්‍රී ලංකා රේගුව නිවේදනය කරයි. වරාය මෙහෙයුම් වඩාත් විනිවිදභාවයකින් යුතුව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා නුදුරු දිනකදීම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම ඩිජිටල් පද්ධතිය හඳුන්වා දීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා භාණ්ඩ නිශ්කාශන නියෝජිතයින් (Clearing Agents), ප්‍රවාහන මෙහෙයුම්කරුවන් ඇතුළු වරාය කටයුතුවලට සම්බන්ධ සියලුම පාර්ශවකරුවන්ට ආරාධනා කර ඇත. නව පද්ධතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව නිසි අවබෝධයක් ලබාගැනීම සඳහා මෙම සැසියට සහභාගී වීම අත්‍යවශ්‍ය බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ සමස්ත අධිකරණ සහ පරිපාලන පද්ධතියම ඩිජිටල්කරණය වන මෙවන් පසුබිමක, වරාය පිටවීමේ ද්වාර ද ඩිජිටල්කරණය වීම හරහා සිදුවන ප්‍රමාදයන් අවම කර ගැනීමට හැකිවනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි.














