කොළඹ ස්විමින් ක්ලබ් ආයතනයේ හෙට (28) පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණයට අදාළව, එහි මහා කමිටුවට සහ තරඟ වදින අපේක්ෂකයින් කිහිප දෙනෙකුට එරෙහිව වාරණ නියෝග නිකුත් කිරීම පිළිබඳව කරුණු දක්වන ලෙස දන්වමින් කොළඹ දිස්ත්‍රික් අධිකරණය අද (27) නිවේදන නිකුත් කර තිබේ. කොළඹ ස්විමින් ක්ලබ්හි සාමාජිකයෙකු විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම පියවර ගෙන ඇත.
මෙම පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, විත්තිකාර පාර්ශවය ලෙස නම් කර ඇති මහා කමිටු සාමාජිකයින්ට සහ නිලවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් කිහිප දෙනෙකුට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මෙලෙස නිවේදන නිකුත් කෙරිණි. මේ අනුව, අදාළ සිතාසි භාර දීම සහ විත්තිකරුවන්ගේ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා නඩුව 2026 අප්‍රේල් මස 30 වන දිනට යළි කැඳවීමට නියමිතය.














