කොමර්ෂල් බැංකු පද්ධතිය බිඳවැටීමකට ලක්ව ඇති බවට ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා හරහා පැතිර යන වාර්තා “අසත්‍ය, විකෘති කරන ලද සහ නොමඟ යවන සුළු” ප්‍රකාශ බව පවසමින් කොමර්ෂල් බැංකුව (Commercial Bank of Ceylon PLC) නිල නිවේදනයක් නිකුත් කර තිබේ. කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කිරීමේ රීතිවලට අනුව සිදුකළ මෙම අනාවරණය මගින් බැංකුව අවධාරණය කරන්නේ තම අභ්‍යන්තර පද්ධතිවල කිසිදු දත්ත බිඳවැටීමක් හෝ සයිබර් ප්‍රහාරයක් (Cyberattack) සිදුව නොමැති බවයි.
බැංකුව පෙන්වා දෙන්නේ අදාළ සිදුවීම ඇතැම් ගනුදෙනුකරුවන් ඉලක්ක කර ගනිමින් සිදු වූ බාහිර පාර්ශ්වීය මූල්‍ය වංචා ක්‍රියාවලියක් (Third-party fraud) මිස බැංකු පද්ධතියේ දෝෂයක් නොවන බවයි. මෙවැනි අසත්‍ය තොරතුරු මගින් ගනුදෙනුකරුවන් අනවශ්‍ය ලෙස කලබලයට පත්විය හැකි අතර, ආයතනය කෙරෙහි පවතින විශ්වාසය පළුදු වීමට ඉඩ ඇති බවට ද බැංකුව අනතුරු අඟවයි. මේ සම්බන්ධයෙන් අදාළ වෙබ් අඩවි වෙත නිල වශයෙන් විරෝධය පළ කර ඇති අතර, එම අසත්‍ය වාර්තා වහාම ඉවත් කර ගන්නා ලෙසට දන්වමින් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
මැදපෙරදිග අර්බුදය සහ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ මෙරට ආර්ථික කටයුතු පිළිබඳව ජනතාව දැඩි අවධානයෙන් පසුවන මෙවැනි කාලසීමාවක, බැංකු පද්ධතියේ ආරක්ෂාව පිළිබඳව සහතික වෙමින් කොමර්ෂල් බැංකුව පවසා සිටියේ තම ඩිජිටල් බැංකු සේවාවන් සම්පූර්ණයෙන්ම ආරක්ෂිතව සහ සක්‍රීයව පවතින බවයි. පවතින බලශක්ති අර්බුදය හමුවේ රජයේ කාර්යාලවලට “බදාදා නිවාඩුව” ලබා දුන්නද, බැංකු ඇතුළු අත්‍යවශ්‍ය මූල්‍ය සේවාවන්හි ආරක්ෂාව තහවුරු කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටී.














