වෙළඳපොළේ පවතින ලාෆ්ස් ගෑස් හිඟය වහාම පියවීමට පියවර නොගතහොත් පාරිභෝගික අධිකාරිය හරහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ලාෆ්ස් සමාගමට දැඩිව අවවාද කළ බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. පාරිභෝගිකයා ගෑස් සිලින්ඩර සඳහා තැන්පතු මුදල් ගෙවා ඇති පසුබිමක ඔවුන්ව රැවටීමට ඉඩ දිය නොහැකි බවත්, අවශ්‍ය වුවහොත් එම පාරිභෝගිකයින් ලිට්රෝ ගෑස් භාවිතය සඳහා නිදහස් කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. මේ අතර හම්බන්තොට ටර්මිනල් එකට බදු නොගෙවීම නිසා සිරවී ඇති ගෑස් මෙට්‍රික් ටොන් 6,000ක් නිදහස් කරගැනීම සහ මාර්තු මාසයේදී ගෑස් නැව් හතරක් ගෙන්වීමට ලාෆ්ස් සමාගම එකඟ වී ඇත. පවතින හිඟයට තාවකාලික විසඳුමක් ලෙස ඛනිජ තෙල් සංස්ථාවෙන් (CPC) දිනකට ගෑස් මෙට්‍රික් ටොන් 25ක් ලබාදෙන ලෙස සමාගම රජයෙන් ඉල්ලීමක් කර තිබේ.














