අනුරාධපුර, ලෝලුගස්වැව ප්‍රදේශයේ සියලු නවීන පහසුකම්වලින් සමන්විත ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීමට රජය තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රකාශ කළේය. රුපියල් බිලියන 08ක දැවැන්ත ආයෝජනයක් සහිත මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මෙම වසර තුළදීම ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ද සමඟින් අදාළ භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
මෙම නව ක්‍රීඩා සංකීර්ණයට පාපන්දු සහ රගර් ක්‍රීඩා සඳහා වූ පිටි මෙන්ම සියලු පහසුකම් සහිත ගෘහස්ථ ක්‍රීඩාංගනයක් (Indoor Stadium) ද ඇතුළත් වන බව වාර්තා වේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් නොව කුරුණෑගල, වවුනියාව සහ දඹුල්ල වැනි අවට ප්‍රදේශවල වෙසෙන ක්‍රීඩකයන්ට ද සිය දක්ෂතා ජාත්‍යන්තර මට්ටමට ඔප්නංවා ගැනීමට මින් මහඟු අවස්ථාවක් සැලසෙනු ඇත. ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩා දක්ෂතා ජාතික හා ජාත්‍යන්තර තලයට රැගෙන යාම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.














