ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ආරම්භ කරනු ලබන විවිධ ව්‍යාපෘති ඒවායේ අවසානය තෙක් අධීක්ෂණය කිරීම සඳහා නිසි වගකීමක් සහිත නිලධාරියෙකු නොමැති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (CoPE) අනාවරණය වී තිබේ. වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම රැස්වීමේදී මණ්ඩලයේ 2022 සහ 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එහිදී ව්‍යාපෘති සැලසුම් කළ කාලයට අවසන් නොකිරීම සහ ඒ සඳහා අධික කාලයක් ගත වීම පිළිබඳව කමිටුවේ දැඩි නොසතුට පළ විය.
මෙම ගැටලුවලට පිළියම් ලෙස ව්‍යාපෘතිවල සාර්ථකත්වය සහ ගුණාත්මකභාවය ආරම්භයේ සිට අවසානය දක්වාම පරීක්ෂා කිරීම සඳහා වෙනම අධීක්ෂණ ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත මහතා මෙහිදී ප්‍රකාශ කළේය. මීට අමතරව මණ්ඩලයේ අභ්‍යන්තර විගණන අංශයේ පවතින පුරප්පාඩු 19ක් කඩිනමින් සම්පූර්ණ කර ආයතනික විනය පරීක්ෂණ කඩිනම් කරන ලෙස ද කෝප් කමිටුව නිලධාරීන්ට දැඩිව උපදෙස් දුන්නේය.
තවද කොළඹ දිස්ත්‍රික්කය තුළ ආදායම් නොලබන ජල අනුපාතය මැනීම සඳහා රුපියල් මිලියන 258ක් වැය කර ස්ථාපිත කර තිබූ DMA මීටර් පද්ධති 78කින් 65ක්ම පසුගිය වසර අවසන් වන විට අක්‍රියව පැවතීම පිළිබඳව ද මෙහිදී අනාවරණය වූ අතර, ඒ පිළිබඳව පූර්ණ වාර්තාවක් කමිටුවට ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා නියෝග කළේය. මෙම රැස්වීම සඳහා දයාසිරි ජයසේකර, ජගත් මනුවර්ණ සහ නිලන්ති කොට්ටහච්චි ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වී සිටියහ.














