ඉරානය විසින් හෝර්මූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) බොහෝ දුරට වසා දමා ඇති පසුබිමක, චීනයේ ‘Cosco’ සමාගමට අයත් දැවැන්ත බහාලුම් නෞකා දෙකක් සාර්ථකව එම මුහුදු සීමාව තරණය කර ඇති බව නෞකා ගමන් මග නිරීක්ෂණ දත්ත (Ship tracking data) පෙන්වා දෙයි. ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පසුගිය සති කිහිපය පුරා මෙම තීරණාත්මක මුහුදු මාර්ගයේ නෞකා ගමනාගමනය අතිශය මන්දගාමී වී තිබියදී මෙම චීන නෞකා දෙක සිය ගමනාන්තය කරා ගමන් කිරීම විශේෂත්වයකි.
පසුගිය සඳුදා (30) දින ‘CSCL Indian Ocean’ සහ ‘CSCL Arctic Ocean’ යන නෞකා දෙක මිනිත්තු 27ක පරතරයක් සහිතව මෙම සමුද්‍ර සන්ධිය පසු කර ඇති බව ‘Marine Traffic’ දත්ත තහවුරු කරයි. ඉරාන පාලනය යටතේ පවතින ලාරක් (Larak) දූපතට ආසන්නයෙන් ගමන් කළ මෙම නෞකා දෙක මේ වන විට මැලේසියාවේ පෝට් ක්ලැන්ග් (Port Klang) වරාය බලා යාත්‍රා කරමින් පවතී. කෙසේ වෙතත්, මෙම ගමන පිළිබඳව අදහස් දැක්වීම ‘Cosco’ සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
යුද වාතාවරණය මධ්‍යයේ වුවද ඉරානය සිය තෙල් අපනයනය අඛණ්ඩව සිදුකරන අතර, තවමත් දිනකට නෞකා 90ක් පමණ මෙම කලාපය හරහා ගමන් කරන බව වාර්තා වේ. නමුත් සාමාන්‍ය වාණිජ නෞකා සඳහා හෝර්මූස් සමුද්‍ර සන්ධිය තවමත් දැඩි අවදානම් සහගත කලාපයක් ලෙස සැලකේ.














