විවිධ උපක්‍රම යොදමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල සියලු ආරක්ෂක සේනාංක සහිතව සිටි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැරියා වැනි ජනතා ක්‍රියාකාරීත්වයකට අත වැනීමක් බව 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ද (15) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.
එහිදී අදහස් පල කල පාඨලි චම්පික රණවක මහතා “පළාත් පාලන මැතිවරණ කාලසටහනට අනුව පෙබරවාරි 22,23,24 දිනවල 6 ලක්ෂයකට අධික තැපැල් ඡන්ද දායකයින්, (රජයේ සේවකයින්) සඳහා මැතිවරණය පැවැත්විය යුතුයි. ඒ සඳහා වන නිල ඡන්ද පත්‍රිකා අද (15) සිට බෙදාහැරීම සිදුවිය යුතුයි. නමුත් ඊයේ මැතිවරණ කොමිසම නිවේදනය කළේ, විශේෂයෙන්ම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා කියලා මුදල් ලබාදෙන්නෙ නැත්තම් මැතිවරණ කාඩ්පත් ලබා දෙන්න බෑ කියලා. ඒ අනුව මේවා බෙදාහැරීම දින නියමයක් නැතුව කල් දැම්මයි කියලා. නමුත් ඇතැම් මාධ්‍ය වාර්තා කරලා තිබුණේ තැපැල් ඡන්දයේ දින නියමයක් නැතුව කල් යනවා කියලයි. ඇත්ත වශයෙන්ම මැතිවරණ කොමිසම කියලා තිබුණේ මැතිවරණයට අදාළ කාඩ්පත් බෙදාහැරීම දින නියමයක් නැතුව කල් යනවා කියන එකයි. කෙසේ නමුත් 21 වතාවක් උත්සාහ කරලා, 22 වෙනි අවස්ථාවේදී රජය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාත්, මුද්‍රණාලයාධිපතිනියත් යොදාගෙන මුදල් ලබා නොදීමේ පදනම මත මැතිවරණය කල් දැමීමේ ක්‍රියාවලියට විධායක ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. අධිකරණ ක්‍රියාමාර්ගයක් සඳහා කිසියම් ආකාරයකට මැතිවරණය පවත්වන්න එපා කියලා ගෙනාපු පෙත්සම කඩිනමින් විභාගයට ගන්න කියලා අතුරු මෝසමකුත් ඉදිරිපත් කරලා තිබෙනවා. මෙය ඉතාමත්ම භයානක ක්‍රියාවලියකට මග පාදනවා. ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය පැවරෙන්නේ ජනතාවටයි. එය ව්‍යවස්ථානුකූලයි. විටින් විට එය අභ්‍යාස කරන්නේ ජනාධිපතිවරණය, මහ මැතිවරණය, පළාත් සභා, පළාත් පාලන මැතිවරණය වැනි අවස්ථාවල. ඒ අනුව නිල කාලසීමාව මත පැවැත්වීමට නියමිත මේ මැතිවරණය දැන් වසරකින් කල් ගිහින් තියෙනවා. එය නැවත පැවැත්වීම කල් දැමීමට දරන මේ උත්සාහයෙන් ඒ ජනතා පරමාධිපත්‍යයට මරු පහරක් එල්ල වෙලා තිබෙනවා. විවිධ හේතූන් නිසා ලෝකයේ මැතිවරණ කල් යනවා.
1. යුද, ත්‍රස්තවාදී ක්‍රියා. ඒවා නිසා මැතිවරණ වලට නොයෙක් බලපෑම් එල්ල වෙනවා. 1989 ජනාධිපතිවරණයේ සිට 2010 ජනාධිපතිවරණය දක්වා පැවැත්වූ සෑම මැතිවරණයකටම උතුරේ එල්. ටී. ටී. ඊ සංවිධානයත්, දකුණේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වයත් නිසා නිසි ආකාරයට ඡන්ද පවත්වන්න පුළුවන් වුණේ නැහැ. මැතිවරණ වර්ජන ක්‍රියාවලීන් ඇති වුණා. ඒ නිසා ජනමතය විකෘති වීමක් වුණා. නමුත්, ඒ යුධකාරී තර්ජන තත්ත්වය තුළ පවා පළවෙනි ඡන්දය දැම්මොත් වෙඩි තියෙනවා, ඇඟිලි කපනවා, අතපය කපනවා කියා තිබුණු ඒ තර්ජන තත්ත්වය තුළ පවා මැතිවරණ පැවැත්වුණා. අද එවැනි යුධකාමී තත්ත්වයක්, එවැනි ත්‍රස්තවාදී තර්ජනයක් ප්‍රජාතන්ත්‍රවාදයට හෝ මැතිවරණ වලට නැහැ. ඒ ඔස්සේ මැතිවරණය කල් තැබීමේ අවස්ථාවක් උදාවෙලා නැහැ.
2. ස්වභාවික විපත් තත්ත්වයක් නිසා මැතිවරණ කල් දැමීම. (උදා: ලබන මැයි 14 වෙනිදට තුර්කියේ ජනාධිපතිවරණය නියමිතව තිබෙනවා. නමුත් දැන් තුර්කියේ එක කොටසක ඇතිවෙලා තියෙන මේ දැවැන්ත භූ කම්පනය නිසා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට උන් හිටි තැන් අහිමි වෙලා ගිහින් තිබෙන තත්ත්වය තුල ඇතැම් විට තුර්කිය ඒ ජනාධිපතිවරණය කල් දමන්න ඉඩ තියෙනවා. දැන් ඒක බොහොම සාධාරණ යුක්ති සහගත හේතුවක්.) අපේ රටෙත් සුනාමි වැනි රටටම බලපාන සිද්ධියක් සිදු වූ අවස්ථාවක මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් තිබුණේ නැහැ. හැබැයි සුනාමියෙන් මාස කිහිපයකට පස්සේ අපි ජනාධිපතිවරණයක් පවත්වලා ඒ ජනාධිපතිවරණයේදී රටේ ජනතාවගේ අයිතිය සහතික කර ගත්තා. ඒ නිසා එවැනි ස්වභාවික විපතකුත් දැන් මේ අවස්ථාවේ නෑ.
3. වසංගත තත්ත්වයක් උදා වුනොත්, මැතිවරණ පවත්වන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. 2019 ජනාධිපතිවරණයෙන් පස්සේ, 2020 මාර්තු මාසේ ඉඳන් ඉතාම දැඩි කොවිඩ් වසංගතයකට රට ගොදුරු වුණා. ඒක ලෝකය පුරාම පැතිරිලා ගියා. වසංගතය ලෝකය තුළ සහ ලංකාව තුළ තුරන් නොවී තිබෙන තත්ත්වය තුළත්, 2020 මහ මැතිවරණය පැවැත්වුණා. ඒ අනුව වසංගත තත්ත්වය තුළ පවා මැතිවරණ පවත්වලා තිබෙනවා.
4. විධායකයේ තීරණ මත මැතිවරණ නොපවත්වා සිටීම. ලංකාවෙත් එවැනි දෑ සිදු වී තිබෙනවා. උදා: බණ්ඩාරනායක මැතිනිය ව්‍යවස්ථා සංශෝධනයට දුන් යම් අර්ථ නිරූපණයක් මත 1975 පැවැත්වීමට නියමිතව තිබූ මහා මැතිවරණය 1977 දක්වා කල් දැම්මා. ජනරජ ව්‍යවස්ථාවට මුවා වෙලා. නමුත් 1975 සිට 1977 දක්වා කාලය තුල දරුණු සිවිල් ප්‍රතිවිරෝධයකට මුහුණ දෙන්න එතුමියට සිද්ධ වුනා. තිබුණු දැවැන්ත බහුතරය විනාශ වෙලා ගිහිල්ලා ආසන 8 කට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැටුණා. මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබුවා. ජේ. ආර්. ජයවර්ධන මහත්තයත් මේ උත්සාහයම 1982 කළා. නැක්සලයිට් කුමන්ත්‍රණයක් තියෙනවා කියලා ජනාධිපතිවරණයෙන් පස්සේ ප්‍රචණ්ඩකාරීන් බලයට පත්වෙන්න යනවයි කියලා පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමුවා. ඒ විජය කුමාරතුංග ඇතුළු පිරිසකට එරෙහිව ගත්ත ක්‍රියාමාර්ගයක් හැටියට. මොකද උනේ? ඒ මැතිවරණය වෙනුවට ජනමත විචාරණයක් පැවැත්වුවා. රටේ බහුතර බලයෙන් 5/6 ක පාර්ලිමේන්තු බලයක් ස්ථාපිත කෙරෙව්වා. රටට මොකද උනේ? ඊළඟ පියවරේදී ජයවර්ධන ජනාධිපතිතුමාට කුමන්ත්‍රණය තව ටිකක් එහාට ගෙනිහිල්ලා 1983 ඇති වූ දෙමළ විරෝධී ජූලි කෝලාහල. ඒවා එක්සත් ජාතික පක්ෂයෙන් කළේ. නමුත් ඒවා පැටෙව්වා ජනතා විමුක්ති පෙරමුණ. නව සම සමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය මත. පනවලා ඒ පක්ෂ තහනම් කළා. එතනින් ඇති වූ ඒ මර්දනයේ ප්‍රතිඵලය වුණේ එපමණ කාලයක් දකුණේ නොතිබූ ප්‍රචණ්ඩත්වයකට රට ගමන් කිරීම. රට සම්පූර්ණයෙන්ම ලේ විලක් බවට පරිවර්තනය වීම. ඒ හා සමගම ඒ කාලේ පවත්වන්න නියමිතව තිබූ ගම් සභා මැතිවරණ ආදිය දිගින් දිගට කල් දමන්න ජයවර්ධන ජනාධිපතිවරයාට සිද්ධ වුණා. මෙවැනි තත්ත්වයක් තුළ මේ මැතිවරණය විධායක තීරණයක් මත කල් දැමුවොත් සල්ලි නෑ කියලා හරි, වෙනත් කාරණයක් පෙන්නලා හරි, අනිවාර්යෙන්ම ජනතාවගේ අරගලයක් සිදුවෙනවා. ඒක සහතිකයි. මොකද මේ රටේ පසුගිය වසරේ සිදු වූ සෘජු ජනතා ක්‍රියාකාරීතව දිහා බලනකොට මැයි 09 වෙනිදා අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව පලවා හැරියා. ජූලි 09 වෙනිදා සියලු ආරක්ෂක සේනාංක සහිතව හිටපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැරියා වැනි ක්‍රියාකාරීත්වයකට අත වැනීමක් තමයි මේ සිද්ධ වෙන්නේ.
ආණ්ඩුවේ, විශේෂයෙන්ම මේ පොලීසිය භාරව ඉන්න පිරිස බලාපොරොත්තු වෙන්නෙත් ලේ, සුවඳට ඉව අල්ලන පිරිසක් මෙතන ඉන්නවා. ඉතා සුළු පිරිසක්. සුළු ජුන්ටාවක්. ඒ පොලිස් ජුන්ටාවට ඕනේ හදිසි නීතිය නැවත පනව ගන්න. ඔවුන්ට ඕනේ නැවත වතාවක් මර්දනය කැඳවන්න. නැවත වතාවක් හිරගෙවල් පුරවන්න. ඇතැම් විට අනාගතයේදී යම් යම් දේශපාලන පක්ෂ තහනම් කරන්න හෝ ඒවායේ ක්‍රියාකාරීතවය අඩපණ කරන්න, ක්‍රියාකාරීකයන් දහස් ගණනින් අත්අඩංගුවට ගන්න. ඒ හරහා අර ජයවර්ධන 83 ලේ වැකුණු පාර හදා ගත්තා වගේ, ජනාධිපතිවරයා වටා හිටපු සුළු පිරිසකගේ උපදෙස් මත ලේ වැකුණු පාරකට ගොඩවෙන්න. , එතුමාත් ඉතිහාසය දන්නවා, අපිත් හොඳට ඒ ලේ වැකුණු ඉතිහාසය දන්නවා. එතුමා දරුවා වඩාගෙන වැල් පාලමේ යන කොට, මතක තියාගන්න, දැන් වැල් පාලමේ කටු ගොඩනැගෙන්න ඉඩ තියෙනවා. එතුමාටත් තුවාල වෙලා, දරුවා ටයර් සෑයට යන මග තමයි මේ ඇති වෙමින් තිබෙන්නේ. ජයවර්ධන ජනාධිපතිතුමා නැක්සලයිට් කුමන්ත්‍රණය පාවිච්චි කරලා විජය කුමාරතුංගව නවත්තන්න උත්සාහ කළාට 1983 පක්ෂ, දේශපාලන සංවිධාන, විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් තහනම් කරලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තහනම් කළා. නමුත් අවසානයේ සිද්ධ වුණේ ජයවර්ධන ප්‍රේමදාස යුගවල 66000 ක් මරණයට පත් වූ මහා ඛේදවාචකයකට දකුණ යොමුවීම පමණයි. මේ ඛේදවාචකයේ ලේ සුවඳ වැඩිහිටියෝ හැටියට; එදා අපිත් දරුවෝ හැටියට, තරුණයෝ හැටියට අත්දැකපු දේ නැවත අපේ දරුවා අත් වෙනවා දකින්න අපි අකමැතියි. ජයවර්ධන ජනාධිපතිතුමා ඉතාම විශිෂ්ට ගණයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, නමුත් එතුමා අවසානයේ ගෙදර ගියේ මේ රටේ ජනතාවගේ දරුණු සාපයකට ගොදුරු වෙලා! ප්‍රේමදාස ජනාධිපතිතුමා ඉතාම කාර්යක්ෂම පුද්ගලයෙක්. පහළින් මතුවෙලා ආපු කෙනෙක්. නමුත් එතුමාගේ මරණයෙන් පස්සේ එතුමාට එල්ල වුණේ ඉතාම සාහසික ප්‍රතිචාරයක්. ඒ දෙදෙනාටම අත් වූ ඒ භයානක දේශපාලන ඉරණමත් ඊට වඩා වැඩියෙන් මේ සමාජයටත් වෙච්ච භයානක දේශපාලන ක්‍රියාවලියත් සමග ගත් කල, අද මේ රටේ වෘත්තීය මට්ටමේ මිනිස්සු, ව්‍යාපාරිකයන් සියලු දෙනාම රට හැර යන ප්‍රවණතාවයක් තිබෙනවා.
පක්ෂ විපක්ෂ සබුද්ධික පුළුල් දේශපාලන සන්ධානයක් මගින් මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කරගන්නට උතුරෙත්, දකුණෙත්, නැගෙනහිරත්, බටහිරත් සියලු දෙනාම එකට එකමුතු වෙලා ක්‍රියා කළ යුතුයි මේ මහා අනතුරෙන් රට ගලවාගන්න. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමයට හෝ පිරිමැසුම්කරණයට හෝ සමාජයේ ඇතිවෙලා තිබෙන මේ ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීමට අවශ්‍ය කරන මහජන විශ්වාසය ආණ්ඩුවට දිනා ගැනීමට හෝ කිසිම ආකාරයක උපකාරයක් මෙයින් සිදුවන්නේ නෑ. ඒ නිසා මර්දනයේ හා ලේ වැකුණු මාවත වෙනුවට තිරසර සාමයේ මාවත තෝරගන්න. ලේ සුවඳට ඉව අල්ලන පොලිස් ජුන්ටාව පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කරන්න කියලා පොලිසියේ නීතිගරුක මහත්වරුන්ගෙන් සහ හමුදාවේ නීතිගරුක මහත්වරුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා රජයේ නිලධාරීන්ට විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට, මුද්‍රණ දෙපාර්තමේන්තුවේ අධිපතිතුමිය ඇතුළු අයට සිරිසේන ජනාධිපතිතුමා හා නිලධාරීන්ට ලබාදුන් අධිකරණ තීන්දුව පිළිබඳ අවධානය යුතුව කටයුතු කරන්න කියලා අපි ඉල්ලනවා. මොකද ගැසට් නිවේදනයකින් තමන්ට ලබාදී තිබෙන බලය ක්‍රියාත්මක කිරීමට මැලි වන්නේ නම් වගකීම් පැහැර හැරියාය කියන චෝදනාව නිශ්චිතව උදාවෙන බව පැහැදිලියි. ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිසමට පැවරී තිබෙන නිශ්චිත ව්‍යවස්ථාපිත වගකීම් ඉටු කරන්න. රජය සමග තියෙන ප්‍රශ්න ඔවුන් විසඳා ගත යුතුයි. නව මැතිවරණ කොමිසමක් ඉදිරියේ පත්වෙන්න නියමිතයි.
80,000 කට අධික පිරිසක් මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙනවා. විශාල පිරිසක් තමන්ගේ රැකියාවලින් අස්වෙලා මෙතනට ඇවිල්ලා තියෙන්නේ. රජයේ ධූර දරමින් සිටියදී මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම විශාල මුදල් ප්‍රමාණයක් ඇප හැටියට තැන්පත් කරලා තියෙනවා. ඒ නිසා මෙය පැවැත්විය යුතුයි. ඇතැම් අය දැන් යෝජනා කරනවා ආණ්ඩුවට සල්ලි නැත්නම් අපි හැමෝම රු. 600 ගානේ දෙමු. මොකද සෑම පුරවැසියෙකුටම රු. 625 ක් පමණ වැය වෙනවා මේ ඡන්දෙට. මේවා ඔක්කොම විහිලු කතා. රජයට මුදල් ඇති වෙන්න තියෙනවා. ආණ්ඩුවට දවසක ආදායම තමයි මේකට වැය වෙන්නේ. නමුත් මේ මගින් මිනිස්සු තුළ යම්කිසි අසහනයක් පීඩනයක් තියෙනවා නම්, ප්‍රචණ්ඩ නොවී, ඒ පීඩනය, අසහනය පිටමං කරන්න මේ මැතිවරණ වලින් ලොකු ආකාරයේ උපකාරයක් සිද්ධ වෙනවා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.
ආර්ථිකය දියුණු කරන්න නම්, තිරසර දේශපාලන සාමයක් සහ ස්ථාවරත්වයක් අවශ්‍යයි. ඒ ස්ථාවරත්වයට එල්ල කරන මරු පහරක් මේ මැතිවරණය කල් දැමීම සඳහා විධායක බලය පාවිච්චි කිරීම. අපි ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා, දැන් මෝසමක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ කරුණු ගැන විධිමත්ව සැලකිල්ලට අරගෙන, මේ සමාජ අනතුර ගැන කල්පනා කරලා බලලා, මේ ජනතාවගේ පරමාධිපත්‍යයේ අයිතිය රැකදීම සඳහා, නිර්භීත තීරණයක් ගන්න කියන එක”යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.