කටුනායක ප්‍රදේශයේ ඇඳුම් මසන්නෙකුට “කුඩු කිලෝ දහය කෝ” යැයි විමසමින් ඔහුගේ ලිංගේන්ද්‍රියේ ලූනු අතුල්ලා අමානුෂික ලෙස වධ හිංසා පමුණුවමින් පහර දීමේ චෝදනාවට වරදකරුවන් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් තිදෙනෙකුට මීගමුව මහාධිකරණය විසින් වසර හත බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරනු ලැබීය. මීගමුව මහාධිකරණ විනිසුරු කවින්ද්‍යා නානායක්කාර මහත්මිය විසින් මෙම දඬුවම ප්‍රකාශයට පත් කළ අතර, මීට වසර අටකට පෙර 2018 නොවැම්බර් මස 20 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී විත්තිකරුවන් විසින් මෙම අපරාධය සිදුකර ඇති බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බව අධිකරණය තීරණය කළාය. මෙලෙස දඬුවම් නියම වූයේ එවකට උපපොලිස් පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ අසංග රමේෂ් අමරසිංහ සහ පොලිස් කොස්තාපල්වරුන් වන අරුණ දිනේෂ් හා තිළිණ උදයංග සෙනෙවිරත්න යන තිදෙනාටය.
සිද්ධියට මුහුණ දුන් සීනි මොහොමදු නෞකර් නදීප් නැමැති වින්දිතයා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පවසා සිටියේ, එදින රාත්‍රියේ තමා සිය පස් හැවිරිදි පුත්‍රයා සමඟ ටේලර් සාප්පුවේ සිටියදී පැමිණි මෙම නිලධාරීන් තමාට පහර දී හිසට පොලිතින් බෑගයක් දමා හුස්ම හිර කිරීමට උත්සාහ කළ බවයි. පසුව තමා පොලිස් ස්ථානයකට රැගෙන ගොස් මුගුරක් තබා බැඳ අමානුෂික ලෙස පහර දුන් බවත්, ලිංගේන්ද්‍රියට දැවිල්ල සහිත යමක් දමා වධ හිංසා කළ බවත් ඔහු සඳහන් කළේය. වින්දිතයා පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඔහුගේ ශරීරයේ තුවාල 11ක් නිරීක්ෂණය කර තිබූ අතර, දෑත් අප්‍රාණික වන තරමටම විත්තිකරුවන් ඔහුට පහර දී ඇති බව විනිසුරුවරිය සිය තීන්දුව මඟින් අවධාරණය කළාය. පොලිස් නිලධාරීන් විසින් වින්දිතයාගේ තුවාල මහේස්ත්‍රාත්වරයාට නොපෙනෙන සේ වසාගෙන සිටීමට කටයුතු කර තිබූ බවත්, මානව හිමිකම් කොමිසම මැදිහත් වන තුරු රෝහල්ගත කිරීමට කටයුතු නොකළ බවත් සාක්ෂි විභාගයේදී අනාවරණය විය.














