ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා අද (24) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ මෙරට සිදු වූ නවතම ඉන්ධන මිල සංශෝධනයන් සම්පූර්ණයෙන්ම පවතින ඉන්ධන මිල සූත්‍රයට අනුකූලව සිදු කර ඇති බවයි. මෙහිදී කිසිදු විශේෂිත හෝ අසාමාන්‍ය සූත්‍රයක් භාවිත කර නොමැති බවත්, ඉන්ධන ආනයන පිරිවැය සහ ඒ හා බැඳුණු අනෙකුත් මෙහෙයුම් වියදම් පදනම් කර ගනිමින් මෙම මිල ගණන් තීරණය වූ බවත් ඔහු පැහැදිලි කළේය.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලබන්නේ ආනයන වියදම් සහ වියදම් මත පදනම්ව නිවැරදි මිල ගණනය කර රජය වෙත ඉදිරිපත් කිරීම පමණක් බවත්, අවසන් තීරණය ගනු ලබන්නේ රජය විසින් බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය. යම් හෙයකින් රජය විසින් පිරිවැයෙන් කොටසක් දැරීමට (Absorb) තීරණය කළහොත්, සූත්‍රයෙන් ලැබෙන අගයට වඩා අඩු මිලක් පාරිභෝගිකයාට ලැබිය හැකි වුවද, සංස්ථාව සැමවිටම ඉදිරිපත් කරන්නේ සත්‍ය පිරිවැය සූත්‍රයට අනුව ගණනය කළ අගය බව ද ඔහු සඳහන් කළේය.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් වෙනස් වීම හේතුවෙන් මීට පෙර මාසිකව සිදු කළ මිල ගණනය කිරීම් දැන් වඩාත් කෙටි කාලසීමාවන් තුළ සිදු කිරීමට පියවර ගෙන ඇති බව මයුර නෙත්තිකුමාරගේ මහතා වැඩිදුරටත් පැවසීය. මිල සූත්‍රයේ කිසිදු වෙනසක් සිදු කර නොමැති වුවද, ගෝලීය මිල උච්චාවචනයන් හමුවේ දේශීය වෙළඳපොළ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා මෙලෙස ගණනය කිරීම් සිදු කරන වාර ගණන ඉහළ නැංවීමට සිදුව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.














