මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුධමය වාතාවරණය හමුවේ මෙරට තුළ ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවට පැතිර යන ප්‍රචාරවල කිසිදු පදනමක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා අවධාරණය කරයි. අද (28) සන්ධ්‍යාවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා කියා සිටියේ, පවතින තත්ත්වය මත මහජනතාව අනවශ්‍ය ලෙස කළබල වී ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ගැසීමෙන් වළකින ලෙසයි.
සභාපතිවරයා පෙන්වා දෙන්නේ මෙරටට අවශ්‍ය පිරිපහදු කළ පෙට්‍රල් සහ ඩීසල් ප්‍රධාන වශයෙන් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව සහ කොරියාව වැනි රටවලින් බැවින් මැදපෙරදිග ගැටුම්කාරී තත්ත්වය මෙරට ඉන්ධන සැපයුමට සෘජු බලපෑමක් එල්ල නොකරන බවයි. දැනට මෙරට සතු ඉන්ධන සංචිත සහ ඉදිරි දිනවලදී ළඟා වීමට නියමිත තොග අනුව පෙට්‍රල් දින 37කටත්, ඩීසල් දින 35කටත් සහ ගුවන් යානා ඉන්ධන දින 47කටත් ප්‍රමාණවත් බව ඔහු ගණනය කිරීම් සහිතව පැහැදිලි කළේය.
බොරතෙල් සැපයුම සම්බන්ධයෙන් යම් බලපෑමක් ඇති වුවද පිරිපහදුව සඳහා අවශ්‍ය තොග මාසයකට වැඩි කාලයක් සඳහා සුරක්ෂිතව පවතින බවද සභාපතිවරයා සඳහන් කළේය. ජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කිරීමට උත්සාහ කළහොත් පමණක් කෘතිම හිඟයක් නිර්මාණය විය හැකි බැවින්, සාමකාමීව හා සාමාන්‍ය පරිදි ඉන්ධන පරිභෝජනය කරන ලෙස රජය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.














