රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබාදීම මේ වන විට ස්ථිර කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පවසනවා. එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කළේ ඉදිරි අප්‍රේල් සහ මැයි මාස සඳහා වන තෙල් නැව් බොහෝ දුරට ස්ථීර කර ඇති බවයි.
කෙසේ වෙතත් මෙරට ඉන්ධන ගොඩබෑම සඳහා පවතින ප්‍රධාන ස්ථාන දෙකෙහි පවතින කාර්යබහුලත්වය සහ ඉඩකඩ සීමිත වීම හේතුවෙන් රුසියාවෙන් අදාළ නෞකා ගෙන්වා ගැනීමේ තාක්ෂණික කරුණු සහ දින වකවානු පිළිබඳව මේ වන විට සාකච්ඡා කරමින් පවතින බව ඔහු සඳහන් කළා. නමුත් රුසියාවෙන් තෙල් ලබාගත හැකි බවට වූ එකඟතාවය මේ වන විට ස්ථීර වී තිබෙනවා.
මෙරට පවතින ඉන්ධන සංචිත පිළිබඳව අදහස් දක්වමින් කළමනාකාර අධ්‍යක්ෂවරයා පවසා සිටියේ හෙට දිනයේදී ඩීසල් මෙට්‍රික් ටොන් 32,000ක් සහ ගුවන් යානා ඉන්ධන (Jet Fuel) මෙට්‍රික් ටොන් 5,000ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත බවයි. මීට අමතරව අප්‍රේල් 6 සහ 7 යන දිනවලදී තවත් ඩීසල් නෞකා දෙකක් මෙරටට පැමිණීමට නියමිතව ඇති බැවින් ඉදිරි උත්සව සමය ඇතුළුව මැයි මාසය අවසන් වන තෙක් මෙරටට අවශ්‍ය ඉන්ධන පවතින බව ඔහු තහවුරු කළා. කෙසේ වෙතත් වත්මන් වෙළෙඳපොළේ ඉන්ධන මිල අධික බැවින් ඒවා අරපිරිමැස්මෙන් යුතුව භාවිත කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.














