මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ මෙරට තුළ ඇතිවී තිබෙන අනවශ්‍ය ඉන්ධන රැස්කිරීම පාලනය කිරීම සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව (CPC) දැඩි නීති රීති පනවා තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (02) පැවැති මාධ්‍ය හමුවකදී සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
බූලි, බැරල් හෝ වෙනත් බාහිර බඳුන්වලට ඉන්ධන නිකුත් කරන බවට තහවුරු වුවහොත් අදාළ ඉන්ධන පිරවුම්හලේ බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට පියවර ගනු ලැබේ. ධීවර යාත්‍රා, කෘෂිකාර්මික කටයුතු හෝ අත්‍යවශ්‍ය කාර්මික අවශ්‍යතා සඳහා පමණක් නීත්‍යානුකූල අවසරය මත බාහිර බඳුන්වලට ඉන්ධන ලබාගත හැකිය.
බලපත්‍රයක් නොමැතිව නිවෙස්වල ඉන්ධන රැස්කිරීම ඉතා අනතුරුදායක මෙන්ම නීති විරෝධී ක්‍රියාවකි. එලෙස ඉන්ධන රැස්කරන පුද්ගලයන් සොයා වැටලීම් සිදු කරන ලෙස පොලිසියට උපදෙස් දී ඇති අතර, ඊයේ (01) දිනයේදී පමණක් එවැනි පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙරට තුළ දැනට දින 30කට වැඩි කාලයකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බැවින්, කලබලයට පත්ව ඉන්ධන රැස්කිරීමෙන් වළකින ලෙසත්, එවැනි නීති විරෝධී රැස්කිරීම් දුටුවහොත් වහාම පොලිසිය දැනුවත් කරන ලෙසත් සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
















