ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ උන්නාඕ හි පිහිටි සප්රු ක්‍රීඩාංගණයේ පැවති ක්‍රිකට් තරගයක් අතරතුර සිදු වූ දරුණු මී මැසි ප්‍රහාරයකින් ප්‍රවීණ ක්‍රිකට් විනිසුරුවරයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වසර 30ක පමණ දීර්ඝ කාලයක පළපුරුද්දක් සහිත විනිසුරුවරයෙකු වන මනික් ගුප්තා නමැති අයෙකි. තරගයේ බීම විවේකය ලබාදී තිබූ අවස්ථාවේදී මෙම මී මැසි රංචුව පැමිණ ක්‍රීඩාංගණයේ සිටි පිරිසට පහර දී ඇති බව වාර්තා වේ.
මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් සහායක විනිසුරු ජග්දීෂ් ෂර්මා මහතා පවසා ඇත්තේ මී මැසි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී සියලු දෙනා දිව ගොස් බේරීමට උත්සාහ කළ බවයි. කෙසේ වෙතත්, මනික් ගුප්තා මහතා වයසින් වැඩි අයෙකු වූ බැවින් ඔහුට මී මැස්සන්ගෙන් බේරී වේගයෙන් දිව යාමට නොහැකි වී තිබේ. අනෙක් පිරිස බිම වැතිර මී මැස්සන්ගෙන් ආරක්ෂා වීමට උත්සාහ කළ ද, එහිදී මනික් ගුප්තා මහතා වෙත මී මැස්සන්ගෙන් ඉතා දරුණු ලෙස ප්‍රහාර එල්ල වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














