චීනයේ මූල්‍ය සහ කොටස් වෙළඳපොළ නියාමන ආයතනය වන ‘චීන සුරැකුම්පත් නියාමන කොමිසමේ’ (CSRC) හිටපු උප සභාපති වැන්ග් ජියැන්ජුන් (Wang Jianjun) හට දූෂණ සහ අල්ලස් චෝදනා මත නඩු පැවරීමට එරට අභිචෝදකයින් අද (31) පියවර ගෙන තිබේ. සිය නිල බලය අයුතු ලෙස භාවිතා කරමින් මහා පරිමාණයෙන් මුදල් සහ දේපළ ලබා ගැනීම මෙන්ම වෙනත් පාර්ශවයන්ට නීතිවිරෝධී ලෙස ප්‍රතිලාභ ලබා දීම මොහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනා වේ.
2021 සිට 2025 අප්‍රේල් දක්වා CSRC හි දෙවැනි ප්‍රධානියා ලෙස කටයුතු කළ වැන්ග් ජියැන්ජුන්, ඉකුත් නොවැම්බර් මාසයේදී පාලක කොමියුනිස්ට් පක්ෂයෙන් ද නෙරපා හරින ලදී. මොහුට අමතරව ඔහුගේ හිටපු ප්‍රධානියා වූ යී හුයිමාන් (Yi Huiman) සහ ජාතික මූල්‍ය නියාමන පරිපාලනයේ (NFRA) නියෝජ්‍ය ප්‍රධානී ෂෝ ලියැන්ග් (Zhou Liang) යන ඉහළ නිලධාරීන් ද මේ වන විට දූෂණ විමර්ශනවලට මුහුණ දී සිටිති.
චීනයේ ඉහළම විමර්ශන ආයතනය වන ‘උච්චතම මහජන අභිචෝදක කාර්යාලය’ පවසන පරිදි, 2025 වසරේදී පමණක් ඉහළ පෙළේ නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 29,000කට එරෙහිව දූෂණ ක්‍රියාවන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන තිබේ. මෙය පෙර වසරට සාපේක්ෂව 20%ක පමණ කැපී පෙනෙන වර්ධනයකි. ඕනෑම තරාතිරමක නිලධාරියෙකු සිදුකරන දූෂණ ක්‍රියාවන්ට එරෙහිව දැඩිව පියවර ගන්නා බවත්, මෙම දූෂණ විරෝධී සටන අවසානය දක්වාම ගෙන යන බවත් චීන බලධාරීන් අවධාරණය කර ඇත.














