කියුබාව පුරා පවතින උග්‍ර ඉන්ධන හිඟය සහ එරට විදුලිබල පද්ධතියේ පවතින අස්ථාවරභාවය හේතුවෙන් දහස් සංඛ්‍යාත නළ මාර්ගවල ජල සැපයුම සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව වාර්තා වේ. විදුලිය නොමැති වීම නිසා ජලය පොම්ප කිරීමේ මධ්‍යස්ථාන ක්‍රියා විරහිත වී ඇති අතර, මේ හේතුවෙන් නියමිත ජල සැපයුම් කාලසටහන් පවත්වාගෙන යාමට නොහැකි වී ඇති බව කියුබානු රජය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. පවතින තත්ත්වය හමුවේ ජල අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටින දහස් සංඛ්‍යාත ජනතාව වෙත ජල ටැංකි රථ මඟින් ජලය බෙදා හැරීමට බලධාරීන් මේ වන විට පියවර ගෙන ඇත.
මැදපෙරදිග ඇවිළෙන යුදමය වාතාවරණය හමුවේ ගෝලීය ඉන්ධන සැපයුම අඩාළ වීම කියුබාව වැනි රටවලට දරුණු ලෙස බලපා ඇති අතර, එය සෘජුවම එරට ජල සැපයුම වැනි අත්‍යවශ්‍ය සේවාවන් කඩා වැටීමට හේතු වී තිබේ. විදුලිබල පද්ධතියේ පවතින ගැටලු හේතුවෙන් ජලය පොම්ප කිරීමේ මෙහෙයුම්වලට එල්ල වී ඇති බාධා තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. මෙම තත්ත්වය හමුවේ එරට ජනතාව දැඩි සනීපාරක්ෂක සහ ජීවනෝපාය ගැටලුවලට මුහුණ දී සිටින අතර, අර්බුදය විසඳීම සඳහා රජය ජාත්‍යන්තර සහාය බලාපොරොත්තුවෙන් පසුවෙයි.














