පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල දුරකථන අංක හෝ WhatsApp අංක භාවිත කරමින් මහජනතාවගේ පෞද්ගලික තොරතුරු ලබාගැනීමේ නිරත වන සංවිධානාත්මක වංචනික කණ්ඩායමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව එම දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
විශේෂයෙන්ම 0115 226 126 යන දුරකථන අංකය මගින් කිසියම් පාර්ශවයක් ඇමතුම් ලබා දෙමින් තොරතුරු විමසන්නේ නම්, කිසිදු හේතුවක් මත තම පෞද්ගලික තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. වංචාකරුවන් නවීන තාක්ෂණය භාවිත කරමින් දෙපාර්තමේන්තුවේ නිල අංකවලට සමාන අංක ප්රදර්ශනය වන සේ ඇමතුම් ලබා දිය හැකි බැවින්, මෙවැනි ඇමතුම් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස වැඩිදුරටත් දැනුම් දී ඇත.














