දකුණු කොරියාවේ දේජියොන් (Daejeon) නුවර පිහිටි සත්වෝද්‍යානයකින් පැනගිය වෘකයෙකු සෙවීම සඳහා බලධාරීන් ඩ්‍රෝන යානා සහ තාප සංවේදී කැමරා (Heat-seeking cameras) යොදාගනිමින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ. “නුක්ගු” (Neukgu) නමින් හැඳින්වෙන මෙම වසර දෙකක් වයසැති පිරිමි වෘකයා, පසුගිය බදාදා දින දේජියොන් ඕ-වර්ල්ඩ් (Daejeon O-World) සත්වෝද්‍යානයේ වැටක් යටින් පස් හාරා පලාගොස් ඇති බව වාර්තා වේ.
මෙම සත්වයා සෙවීම සඳහා පොලිසිය, ගිනි නිවන ඒකකය සහ හමුදා නිලධාරීන් ඇතුළු 300කට අධික පිරිසක් යොදවා ඇති බව දේජියොන් ගිනි නිවන මූලස්ථානය පවසයි. සත්වයා සිටින ස්ථානය හඳුනාගැනීම සඳහා තාප රූප රාමු (Thermal imaging) භාවිතා කරන අතර, ප්‍රදේශයේ පවතින තද වැසි හේතුවෙන් මෙහෙයුම්වලට බාධා එල්ල වී තිබේ. ආරක්ෂක පියවරක් ලෙස ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක් ද තාවකාලිකව වසා දමා ඇති අතර, ඕනෑම සැකකටයුතු දැකීමක් වහාම දැනුම් දෙන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම වෘකයා වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ‘කොරියානු වෘක’ විශේෂය සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් යටතේ 2024 වසරේ උපත ලැබූවෙකි. මේ අතර, මෙම සිදුවීම සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව ඇති අතර ‘Neukgu’ නමින් නව ක්‍රිප්ටෝ මුදල් වර්ගයක් (Meme coin) පවා අන්තර්ජාලය වෙත හඳුන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් (Lee Jae Myung) මහතා ද සිය X ගිණුම හරහා ප්‍රකාශ කර ඇත්තේ කිසිදු මිනිස් ජීවිත හානියකින් තොරව මෙම වෘකයා ආරක්ෂිතව නැවත ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි තමා ප්‍රාර්ථනා කරන බවයි.














