දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ හිරිවඩුන්න විදුහල ආසන්නයේදී ඊයේ (19) දහවල් කාලයේදී බරපතල රිය අනතුරක් සිදුවිය. මාර්ගය අසල දිවා ආහාරය ලබා ගැනීම සඳහා නතර කර තිබූ තීන්ත ප්‍රවාහනය කළ ලොරි රථයක පිටුපස, වේගයෙන් පැමිණි ප්‍රයිම් මුවර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ. දඹුල්ල දෙස සිට හබරණ දෙසට ධාවනය වෙමින් තිබූ ප්‍රයිම් මුවර් රථයේ රියදුරාට රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එය මාර්ගයෙන් ඉවතට පැන නතර කර තිබූ ලොරි රථයේ පිටුපස මෙලෙස ගැටී තිබේ.
මෙම ගැටීමත් සමඟ ලොරි රථයේ තිබූ තීන්ත බෝතල් සහ බඳුන් බිඳී ගොස් මාර්ගය පුරා තීන්ත විසිරී යාමෙන් දැඩි දේපළ හානි සිදුව ඇති අතර, අනතුර හේතුවෙන් දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද මඳ වේලාවකට බාධා එල්ල විය. ප්‍රයිම් මුවර් රථයේ ඉදිරිපස කොටසට ද දැඩි හානි සිදුව ඇති අතර එහි රියදුරා තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. හබරණ පොලිසිය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබන අතර, අධික වේගය හෝ රියදුරාට නින්ද යාම මෙම අනතුරට හේතුවන්නට ඇතැයි සැක කෙරේ.














