දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ සේවිකාවක සහ වෘත්තීය සමිති නායකයෙකු අතර ඇති වූ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රෝහල් පාලනාධිකාරිය මගින් විධිමත් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරී වෛද්‍ය අරුණ කුමාර මහතා සඳහන් කළේ, අදාළ සිද්ධියට සම්බන්ධ දෙපාර්ශවයටම එරෙහිව දැඩි විනය පියවර ගන්නා බවයි.
රෝහල් සේවකයන් පවසන පරිදි, මෑතකදී සිදු වූ සේවක ස්ථාන මාරු කිරීම් කිහිපයක් මුල් කරගනිමින් රෝහල් කම්කරුවන් සහ කනිෂ්ඨ සේවකයන් අතර කලක සිට උණුසුම් තත්ත්වයක් පැවතී ඇත. මෙම ස්ථාන මාරු ලබා දීම පිටුපස වෘත්තීය සමිති නායකයෙකු සිටින බවට එල්ල වූ චෝදනා හමුවේ මෙම ගැටුම හටගෙන තිබේ.
පහරකෑමට ලක් වූ බව කියන රෝහල් සේවිකාව පවසන්නේ, තමන් විවේකාගාරයේ සිටියදී පැමිණි වෘත්තීය සමිති නායකයා තමාට අමානුෂික ලෙස පහර දී හිස බිත්තියේ ගැසූ බවයි. කෙසේ වෙතත්, පහර දුන් බවට චෝදනා එල්ල වන සමස්ත ලංකා සුව සේවා වෘත්තීය සමිති නායකයා ද තුවාල ලැබ රෝහල් ගතව සිටින අතර, ඔහු පවසන්නේ අදාළ සේවිකාව කොස්සකින් තමාට පහර දීම නිසා ආත්ම ආරක්ෂාව සඳහා තමන් ද ප්‍රතිප්‍රහාර එල්ල කළ බවයි.
දඹුල්ල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන අතර, රෝහල් කටයුතුවලට බාධා වන අයුරින් හැසිරෙන සේවකයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ ද අවධානය යොමු වී තිබේ.













