දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළ අද (අප්‍රේල් 07) දින ක්‍රියාත්මක කරන ලද පැය දෙකක විශේෂ මෙහෙයුමකින් පුද්ගලයන් අසූ දෙනෙකු (80) සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය පවසයි. මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීමට එක්ව සිටියහ.
අත්අඩංගුවට ගත් පිරිස අතර ගංජා, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයන් මෙන්ම තමන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමට අපොහොසත් වූ පිරිස් ද සිටින බව පොලිසිය සඳහන් කරයි. මීට අමතරව විවිධ අපරාධ සම්බන්ධයෙන් අධිකරණය මඟහරිමින් සිටි වරෙන්තුකරුවන් පිරිසක් ද මෙම මෙහෙයුමේදී කොටුකර ගැනීමට හැකි වී තිබේ. ඉදිරි උත්සව සමය වෙනුවෙන් ආර්ථික මධ්‍යස්ථානය තුළ ආරක්ෂාව තහවුරු කිරීම සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම මෙම හදිසි මෙහෙයුමේ මූලික අරමුණ වී ඇත.











